මත්කුඩුවලට ඇබ්බැහිවූ කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී දරුවකු ප්‍රසූත කිරිමෙන් පසුවත් මත්කුඩු ඉල්ලා කලබල කිරීම නිසා ඇය මෙල්ලකර ගැනීමට රෝහල් කාර්ය මණ්ඩලය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින
බව වාර්තාවේ. ඇය (24) හැවිරිදි තිදරු මවකි. මීට දින 10 කට පමණ ඉහතදී රෝහල් ගත වීමෙන් පසුව ඇය පිරිමි දරුවකු ප්‍රසූත කර මේ වන විට දින 10 ක් පමණ ගතවී ඇත. මේ අතරතුරදී ඇය බැලීමට පැමිණි පුද්ගලයකු සැක සහිත යමක් දී ඇති බවට ලද තොරතුරක් නිසා මේ දිනවල ඇයට ගෙනැවිත් දෙන සියලු දේ පූර්ණ පරික්ෂාවකට භාජන කිරීමට රෝහල් බලධාරීන් පියවර ගෙන ඇත.

මේ හේතුව නිසා ඇය මක්කඩු නොමැතිව උමතු ලෙසින් හැසිරෙන්නට පටන් ගෙන ඇති අතර වරක් රෝහලෙන් පැන යාමට පවා උත්සාහ දරා ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ. මේ හේතුවෙන් ළමා වාට්ටුවේ දොරගුළු පවා අලුත්වැඩියා කිරීමට බලධාරින් පියවර ගෙන ඇතැයි වාර්තවේ.  මේ පිළිබඳව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි විශේෂඥ වෛද්‍ය ජනිත් හෙට්ටිආරච්චි මහතෘගෙන් විමසූ විට ඔහු මෙසේ කීය.

ඔව්. මත්කුඩුවලට ඇබ්බැහි වූ කාන්තාවක් වාට්ටුවට ඇතුළත් කර ඇති බවට වාර්තවී තියෙනවා.

ඇය දරුවකු ප්‍රසුත කර ඇති නිසා යම් තත්ත්වයකට පත්වන තුරු මේ දක්වා වාට්ටුවේ ඉන්නවා.

ඇයගේ තත්ත්වය ගැන මා එහි කාර්ය මණ්ඩලයෙන් විමසා බලන්නම්. ඇත්තටම මෙවන් කාන්තාවන් සුමගට ගැනීමට අප හැමදෙනාම ක්‍රියා කළ යුතුයි.

-ප්‍රදීප් කුමාර-