මතුගම යටදොළ පයාගල පාරේ දක්ෂිණ අධිවේගී මාර්ග පාලමක පැති බිත්තියක චිත්‍ර අදිමින් සිටි චිත්‍ර ශිල්පියෙකු පලංචියකින් වැටී සිදුවූ අනතුරකින් ඊයේ (03දා) මියගොස් ඇති බව මතුගම පොලීසිය පවසයි. 
මෙසේ මිය ගොස් ඇත්තේ පන්සල අසළ, යටදොළ, නවුත්තුඩුව පදිංචි ඩී.එම්. විජේරත්න නම් 75 හැවිරිදි ජනාධිපති සම්මානලාභී චිත්‍ර හා මූර්ති ශිල්පියෙකි.

යටදොළ නවුත්තුඩුව ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුදේශි ලක්මාල් ජයවර්ධන ඇතුළු තරුණ පිරිස සමග එක්වී පරිසර අලංකාර කිරීම සඳහා ප්‍රදේශයේ පිහිටි අධිවේගී මාර්ග පාලමේ පැති බිත්ති මත චිත්‍ර ඇඳීමට පියවර ගෙන ඇති අතර එම ප්‍රජා සද්කාරයට තම දායකත්වය දැක්වීමට මෙම මියගිය චිත්‍ර ශිල්පී විජේරත්න මහතාද එක්වී ඇත.

ඒ අනුව එම චිත්‍ර ඇඳීමේ කටයුත්තේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළ මෙම චිත්‍ර ශිල්පියා ඊයේ උදෑසන තමාගේ උදව්වට සිසුවකුද සහභාගී කරගෙන චිත්‍ර ඇඳීමේ නිරත වී ඇත. එසේ චිත්‍ර ඇඳීමේ නිරතවෙමින් සිටියදී උඩ නැග සිටි පලංචියෙන් බිමට ඇද වැටී ඔහු අනතුරට පත්වී ඇති අතර පසුව ප්‍රදේශවාසීන් විසින් ත්‍රිරෝද රථයකින් කටුගහහේන රෝහලට ඇතුළත් කර ඇත. අනතුරුව එම රෝහලෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට මාරු කර යවා ඇති අතර නාගොඩ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මේ පිළිබඳව අදහස් දැක්වූ මතුගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුදේශ් ලක්මාල් ජයවර්ධන මහතා,

"අප ප්‍රදේශයේ පිහිටි අධිවේගී පාලමේ අලංකාර ලෙස චිත්‍ර ඇඳීමට ප්‍රදේශවාසීන් සහ තරුණ පිරිස තීරණය කිරීමෙන් අනතුරුව මෙම විජේරත්න මහතාට ඒ පිළිබඳව දැනුම් දීමෙන් පසුව එතුමා එම කටයුත්තේ ප්‍රධානත්වය ගෙන කටයුතු කළා. එතුමා චිත්‍ර හා මූර්ති කලාවට ඉතා දක්ෂ කෙනෙක්. එතුමාට ජනාධිපති සම්මාන ඇතුළු සම්මාන ගණනාවක් ලැබී තිබෙනවා. අපේ ගමේ පාලමේ චිත්‍ර අඳිමින් ගමේ පරිසරය අලංකාර කිරීමට කටයුතු කරමින් සිටියදී සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව දැඩි ලෙස කම්පාවට පත්වුණා” යැයි පැවසීය.

දේහය නාගොඩ රෝහලේ තැත්පත්කර ඇති අතර මතුගම පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්‍ෂක පරාක්‍රම උඩවත්ත මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.