කිසිඳු ආකාරයක භාණ්ඩ හිඟයක් නොමැති බවත් එළැඹෙන උත්සව සමයට කල්තියා අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ රැස්කර ඇති බවත් අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්ෂිතතාවය හා පාරිභෝගික සුබ සාධක අමාත්‍යාංශයේ ලේකම් ජී.කේ.එස්.එල්. රාජදාස මහතා පවසයි.



කොවිඩ් වසංගතය රට තුළ පැතිර යෑම පිළිබඳ අනියත බියක් ජනතාව තුළ ඇතිවීම හේතු කොට ගෙන වෙළඳ පොළ තුළ හදිසියේ ඇති වූ අනපේක්ෂිත තත්ත්වය මඟින් ඇතැම් වෙළඳුන් අයථා ලාභ ප්‍ර යෝජන ලබාගෙන ඇති බවද ලේකම්වරයා පවසයි.

මේ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බවත් එළැඹෙන මාස කිහිපයක් සඳහා පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි සැපයුමක් ලබා දීමට ප්‍රමාණවත් භාණ්ඩ තොග රජය විසින් මේ වන විටත් රැස්කර ඇති බැවින් ජනතාවට භාණ්ඩ තොග රැස්කර තබා ගැනීමට කිසිඳු අවශ්‍යතාවක් නොමැති බවත් ලේකම්වරයා වැඩිදුරටත් පවසයි.