සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ  ඊයේ (16 වැනිදා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කොරෝනා පරීක්ෂාව පුද්ගලික මට්ටමින් සිදු නොකරගන්නා ලෙස
උපදෙස් දුන්නේ එක්සත් රාජධානියේ සිට පැමිණ කොරෝනා ආසාදිත වූවෙකු  ගැන දක්වමිනි.

'කොවිඩ්-19 බවට හඳුනාගත් තව පුද්ගලයෙක් එංගලන්තයේ ඉඳලා පසුගිය 10 වැනිදා ලංකාවට ඇවිල්ලා. පසුව පෞද්ගලික රෝහලකින් පරීක්ෂණ සිදුකර කොවිඩ්-19 වැලඳී ඇති බවට තහවුරුව තිබියදීත් ඔහු නිවසට වෙලා ඉඳලා.'

මේ හැසිරීම නිසා රටේ තත්ත්වය අපේ පාලනයට ගන්න බැරිවෙනවා. රජයේ රෝහල් පද්ධතිය දුප්පත්ද පෝසත්ද කියලා බලන්නේ නැතුව ප්‍රයෝජනයට ගන්න. ඒ වගේම පෞද්ගලික රෝහල්වල මේ පරීක්ෂණය වලංගු නෑ. මොකද මේක නව වෛරසයක්. අපිට ඒ පෞද්ගලික රෝහල් දැනුවත් කරලා අවශ්‍ය නම් සහය ලබා ගන්න පුළුවන්. එහෙම අවශ්‍යතාවක් ආවොත් අපි කියන්නම්.

පෞද්ගලික රෝහල්වල මේ පරීක්ෂණ සිදු කරන විදියට වඩා වෛද්‍ය පර්‌යේෂණ ආයතනයේ කෙරෙන විධිය වෙනස්. අදාළ සෙම පටලය පවා එන්නේ විශේෂඥ වෛද්‍යවරු පරීක්ෂා කිරීමෙන් අනතුරුව. ඒ වගේම වෛද්‍ය පර්‌යේෂණ ආයතනය හොංකොංවල සිටින මහාචාර්ය මලික් පීරිස් සමග සම්බන්ධ වෙනවා. ඒ නිසා මෙය සීමිත වශයෙන් සිදුකරන පරීක්ෂණයක් මිස විශාල වශයෙන් සිදුකරන පරීක්ෂණයක් නොවෙයි.

ඒ වගේම සැක කටයුතු රෝගීන් ඇතුළු කිරීමට රෝහල් දහඅටක් සූදානම් කර තිබෙනවා. ඒවායේ අදාළ අංශ වෙත පහසුකම් සම්පාදනය කරමින් පවතිනව. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට නිරෝධායන කට්ටල ලැබෙමින් පවතිනවා. කොරෝනා රෝගීන් සමග කටයුතු කරද්දී එක් රෝගියකු වෙනුවෙන් දිනකට ඇඳුම් කට්ටල් දහයක් අවශ්‍ය වෙනවා. අපි මේවා දෛනිකව ලබා ගන්නවා. ඒ වගේම මම දුම්බොන පුද්ගලයන්ට අනතුරු අඟවනවා. මේ වෙලාවෙදි ඔවුන් එය නතර කර පෙණහලු ආරක්ෂා කර ගැනීමත් ප්‍රතිශක්තිකරණය වැඩි කර ගැනීමටත් අවධානය යොමු කළ යුතුයි.