පසුගිය 12 වනදා කොරෝනා වෛරසය ආසාදිත බවට හදුනාගත් 11 වැනියා ගැන මින් ඉහත මාධ්‍ය වාර්තා පළවී තිබුණි. ඔහුගේ මිතුරාද බිරිය සමග කට්ටි පනිමින් සිට පසුව කොරෝනා ආසාදිත බවට හදුනාගෙන 21 වැනියා ලෙස
රෝහල් ගත කළබවටද විස්තර පළවිය.

කට්ටි පැන්න මිතුරා කොරෝනා තමන්ට ඇති බව දැනදැන සමාජයට එය පතුරුවමින් පුද්ගලිකව ඊට පිළියම් සෙවූ බවට චෝදනාද ගොනුවී තිබුණි.
කෙසේ වෙතත් ඊයේ මාධ්‍ය හමු වලදී අදාළ පළමුවැනියා ගැන කිසි වරදක් කියැවුණේ නැත. ඔහු හඳුනාගත් අවස්ථාවේම රෝහල් ගතවූ බවට අදහස් පළවී තිබුණි.
මෙම දෙන්නා ගැන ඊට වඩා වැඩි විස්තරයක් අද ජනපති ගෝඨාභය රාජපක්ෂ කාර්ය සාධක රැස්වීමේදී හෙළි කළේය. ඒ
පෙර කී දෙන්නාගෙන් පළමු වැනියා විදේශ අමාත්‍යංශයේ නිලධාරිනියකගේ සැමියා බව හෙළි කරමිනි. ජනපති වරයා කියා සිටියේ ව්‍යාපාරිකයෙකුවූ ඔහු මිතුරා සමග ජර්මානු සංචාරයට එක්වූ පසු ලංකාවට පැමිණ කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වූ අයුරුය. දෙවැනියාගේ කට්ටි පැනීම ගැන ජනපතිද දොස් කීවේය.
කෙසේ වෙතත් ප්‍රවෘත්ති සාකච්ඡාවලදී ජර්මනියේ සිට පැමිණ රෝගය හඳුනාගත් පළමු වැනියා ගැන විස්තර හෙළිකර තිබුනේ නැත. විදේශ අමාත්‍යංශය මින් ඉහත මාධ්‍ය වෙත යොමු කර තිබූ පණිවිඩයක දැක්වූනේ යුරෝපීය සංචාරයකට එක්වූ විදේශ අමාත්‍යංශ නිලධාරියෙකුගේ පවුලේ අයකුට කොරෝනා වැළඳී ස්වයං නිරෝධායනයකට ලක් කළ බව පමණි.
ඒ අනුව ජනපතිවරයා හෙළි කළ එකී නිලධාරිනියගේ සැමියාද මුල් අවස්ථාවේ නිවසේ සිට ස්වයං නිරෝධයනයකට ලක්ව ඇති බව හෙළිව තිබේ. ඔහුත් කට්ටි පැන්න මිතුරා මෙන් අංගොඩට යාමට අකමැත්තෙන් පසුවූ බව හෙළිව තිබේ.