මාර්තු(24) උදේ 6.00ට ඉවත් කළ කොළඹ, ගම්පහ, පුත්තලම, මන්නාරම, වව්නියාව, මුලතිව්, කිළිනොච්චි සහ යාපනය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇදිරි නීතිය ප.ව. 2.00ට යළි ක්‍රියාත්මක විය.
 කොරෝනා ව්‍යාප්තිය සලකා කොළඹ, ගම්පහ,කළුතර දිස්ත්‍රික්ක ඉතා අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත. මින් ඉදිරියට අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු
දිගටම ක්‍රියාත්මක බවද රජය දැනුම්දී ඇත.
(පෙර නිවේදනයේ දැක්වුනේ 27 වනදා ඉවත් කර එදින නැවත පනවන බවකි)
අද ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් අනතුරුව පාරිභෝගික ජනතාව සිය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට එක් රැස් වන ආකාරය වෛරසය තවත් ව්‍යාප්ත කරවනසුලු බව රජය හඳුනාගෙන තිබේ. ජනතාව වෙළෙඳ සැල් අසල විශාල ලෙස රැස්වී සිටීම කොරෝනා වෛරසය පාලනයට බරපතල බාධාවක් බව සෞඛ්‍ය බලධාරීන් නිරීක්ෂණය කර තිබේ.
අත්‍යාවශ්‍ය පාරිභෝගික ද්‍රව්‍ය නිවෙස්වලටම ගොස් අළෙවි කිරීමේ වැඩපිළිවෙළක් අලුතින් හඳුන්වාදී ඇත. සතොස, කීල්ස්, ලාෆ්ස්, ආපිකෝ, ෆුඩ් සිටි, අරලිය, නිපුණ සහ සෙසු තොග වෙළෙඳ සමාගම් මේ කාර්යයට හවුල් කර ගැනීමට පියවර ගැනේ.
එය කාර්යක්ෂමව ඉටුකරනු පිණිස හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කාර්ය සාධක බලකායක් ස්ථාපනය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.‍
ආහාර ද්‍රව්‍ය ඇතුළු අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ, ඖෂධ, ගෑස් හා සෙසු සේවා බාධාවකින් තොරව සහ අඛණ්ඩව ජනතාවට ලබාදීමේ සැලැස්ම හෙට (25) සිට ක්‍රියාත්මක කරන බවද දන්වා ඇත.
ලොරි, වෑන්, ත්‍රිරෝද රථ, මෝටර් සයිකල් ඇතුළු භාණ්ඩ බෙදාහැරීමට උපයෝගි කරගන්නා සියලු ඩිලිවරි වාහනවලට ඇඳිරි නීති කාලය තුළ මාර්ගවල ගමන් කිරීමට අවසර ලබා දී තිබේ.
එබැවින් ඉදිරි කාලය තුළ අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නිවාසවලටම ගෙන ගොස් අළෙවි කරන ලෙස තොග වෙළෙඳ ආයතනවලට රජය උපදෙස් දී ඇත.