'කෝවිඩ් – 19" වසංගතයට එරෙහිව චීනය ගෙන යන සටනට සහයෝගය දැක්වීම පිළිබඳව සිය කෘතවේදීතාව පළ කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ බිරිඳ වන පෙන්ග් ලියුආන් මහත්මිය විසින් ශ්‍රී ලංකාවේ බාලිකා පාසලක සිසුවියන් පිරිසකට පිළිතුරු ලිපියක් එවා තිබේ.
චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය ඉදිරියට ගෙන යාමට දායකවීම සඳහා ඔවුන්ව දිරිමත් කරමින්
චීන ජනපතිවරයාගේ බිරිඳ මෙම ලිපිය යොමු කර ඇත්තේ, කොළඹ දේවි බාලිකා විදුහලේ සිසුවියන් පිරිසක් වෙතය.


'කෝවිඩ් - 19' වසංගතයට එරහිව චීනය ගෙන යන සටනට සහය පළකරමින් දේවි බාලිකා විදුහලේ සිසුවියන් පිරිසක් චීන ජනපති ආර්යාව වෙත සිතුවම් හා ලිපියක් යොමු කර තිබූ අතර, එම සිතුවම් හා ලිපි තමන්ට ලද
බව චීන ජනපති ආර්යාව සිය ලිපියෙන් දන්වා තිබේ.

අදාළ සිතුවම් ආදරයෙන් පිරී ඇති අනර්ඝ සිතුවම් බවත්, ඒවා චීන ජනතාව වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ අවංක මිත්‍රත්වය පෙන්නුම් කරන බවත් මෙහිදී පෙන්ග් මහත්මිය සඳහන් කර ඇත. මෙම සිතුවම් සඳහා චීන ජනාධිපතිවරයා සහ තමන් දැඩි රුචිකත්වයක් දක්වන බවත්, කෝවිඩ් වසංගතයට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවේ සෑම තරාතිරමක ජනතාව චීනයට ආශිර්වාද කිරීමට හා සුබ පැතුම් එක්කිරීමට කටයුතු කළ බවත් ඇය සිය ලිපියෙන් පෙන්වා දී තිබේ.

මේ වනවිට චීනය සිය ජනතාව සමඟ එකාබද්ධව මෙම වසංගතයට එරෙහිව සටන් කිරීමට උපරිම උත්සාහයක් දරමින් සිටින බවත්, එය වැළැක්වීමේ සහ පාලනය කිරීමේ උත්සහයන්ගෙන් ධනාත්මක ප්‍රතිඵල ලබාගෙන ඇති බවත් මෙහිදී චීන ජනාධිපති ආර්යාව පවසා ඇත.

"කෝවිඩ් -19" වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා චීනයට විශ්වාසය ඇති බවත්, චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රත්වයට දීර්ඝ ඉතිහාසයක් ඇති අතර, ශ්‍රී ලංකා සිසු සිසුවියන් වෙහෙස මහන්සි වී උගෙන ද්වීපාර්ශවික මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා තරුණ තානාපතිවරුන් බවට පත්වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පෙන්ග් මහත්මිය මෙහිදී වැඩිදුරටත් පවසා තිබේ.