බණ්ඩාරගම අටුලුගම ව්‍යාපාරිකයෙකු සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් මිරිහාන පොලීසියේ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමට ලක්කළ බව නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී
ලක්සිරි නිහාල් මහතා පැවසීය. මලෙස වැඩ තහනම් කරනු ලැබූයේ මිරිහාන පොලීසියට අනුයුක්තව දූෂණ මර්දන අංශයේ සේවය කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකි.


සැකකාර කොස්තාපල්වරුන් තිදෙනා නුගේගොඩ අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් සුනීතා නානායක්කාර මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (10දා) දක්වා රිමාන්ඩ් භාරයට පත් කෙරිණ. විවිධ බැංකුවල හා විවිධ පෞද්ගලික ආයතනවලට උකස් කර බේරා ගැනීමට නොහැකිව  සින්නවීමට ආසන්න රන් භාණ්ඩ බේරාගෙන මුදල් ලබාදෙන ව්‍යාපාරයක් කරන පැමිණිලිකාර ව්‍යාපාරිකයා බොරලැස්ගමුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පසුගිය 07 වැනිදා සැකකාර කොස්තාපල්වරුන් තිදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

වේරහැර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට අයත් සින්නවීමට ආසන්න රන් මුදුවක් බේරාගෙන මුදල් ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමකට ව්‍යාපාරිකයා පැමිණ එය ඉටුකර දීමෙන් දින දෙකකට පසු නැවතත් එම පුද්ගලයා දුරකථන ඇමතුමක් දී මිතුරෙකුගේ රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනා රන් භාණ්ඩ සින්නවීමට ආසන්න බවත් එය මිලදී ගන්නා ලෙසත් පවසා ව්‍යාපාරිකයා උපක්‍රමශීලී ලෙස ගෙන්වාගෙන ඇති බවත් පොලීසිය පවසයි.


වේරහැර පුද්ගලයා හා ව්‍යාපාරිකයා ඒ පිළිබඳ ත්‍රිරෝද රථයක් තුළ කතාබස් කරමින් සිටියදී ත්‍රිරෝද රථයකින් පැමිණි සැකකාර පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා පෑලියගොඩ පොලීසියේ විශේෂ අංශයක නිලධාරීන් බව පවසා ව්‍යාපාරිකයාට හා වේරහැර පුද්ගලයාට මාංචු දමා පාළු ස්ථානයකට රැගෙන ගොස් දෙදෙනාම දැඩි පරීක්ෂාවකට ලක් කර ව්‍යාපාරිකයා සතුව තිබූ රුපියල් ලක්ෂ දෙකක මුදලක් කොල්ලකා තිබූ බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත. අනතුරුව ව්‍යාපාරිකයා මුදාහැර අනෙක් පුද්ගලයා පෑලියගොඩට රැගෙන යන බව පවසා රැගෙන ගොස් ඇති අතර පසුව ව්‍යාපාරිකයා ඒ පිළිබඳව මිතුරෙකුට පවසා සොයාබැලීමේදී එවැනි අත්අඩංගුවට ගැනීමක් නොකළ බවට අනාවරණය වීමෙන් පසු බොරලැස්ගමුව පොලීසියට සිද්ධිය පිළිබඳ පැමිණිලි කර තිබිණි.

ඒ අනුව වේරහැර සැකකරු හා සැකකාර පොලිස් කොස්තාපල්වරුන් තිදෙනා අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර ඇත. බස්නාහිර දිසාව දකුණ භාර නියෝජ්‍ය පොලිස්පති කපිල කඩුපිටිය, නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි නිහාල් යන මහත්වරුන්ගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරී මාලන් පෙරේරා මහතා, කොස්තාපල්වරුන් තිදෙනා වැඩ තහනමට ලක් කළ අතර බොරලැස්ගමුව පොලීසියේ
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ.පී. විජේරත්න මහතා ඉදිරි පරීක්ෂණ සිදු කරයි.

- බිමල් ශ්‍යාමන් -