කතරගම බලා යමින් සිටි තරුණයන් පිරිසක් රැගත් වෑන් රථයක් ඊයේ (09) අලුයම තණමල්විල - මාතර ප්‍රධාන මාර්ගයේ 22 හදියේදී මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන්, එහි ගමන්  ගත් තරුණයන් හයදෙනකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, තිදෙනකු තුවාල ලබා ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්වූයේ ගාල්ලේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ කතරගම බලා යෑමට පෑමිණී තරුණයන් පිරිසක් රැගත් සුඛෝපභෝගී වෑන් රථයකි.  අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියැදුරු ඇතුළු තිදෙනකු ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර ඇතැයි ද පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ අංක 215, ආරච්චිවත්ත, වැලිවත්ත, ගාල්ල ලිපිනයේ පදිංචි 26 හැවිරිදි විතාන ලියනගේ තමිදු වරුණ කුමාර, අංක 21, උඩහේන, බංගලියද්ද, පතමි පිටිය, ගාල්ල ලිපිනයේ පදිංචි 23 හැවිරිදි අන්තෝනි වෙරළගේ සමීර ප්‍රසාද්, පැලවත්ත, හීනටිගල, උණවටුන පදිංචි 30 හැවිරිදි කායිංගල වඩුගේ රංජන් ධනුෂ්ක, කිතුල්පිටිය, උළුවිටිකේ, ගාල්ල පදිංචි 51 හැවිරිදි හිරිඹුරගමගේ පුෂ්ප කුමාර, 03 කණුව අසල, උඩුගමුව පාර, බටදූව, ගාල්ල පදිංචි 28 හැවිරිදි මීපේ ගමගේ චමීර අස්සර හා ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචි ඉසුරු නුවන් සම්පත් නමැති අයයි. අනතුරින් බරපතළ තුවාල ලැබූ වෑන් රථයේ රියැදුරු අංක 43/30/ඩී, සමගි මාවත, මාගොල්ල, ගාල්ල පදිංචි 24 හැවිරිදි යටලමත්ත ගමගේ යසිරු දිල්ෂාන්, අංක 14/50, දංවෙල වත්ත, කනම්පිටිය, ගාල්ල පදිංචි මඩිදූව ලියනගේ රජිත් හා නො. 532, ඉරුවත පාර, කරාපිටිය ලිපිනයේ පදිංචි 23 හැවිරිදි අහංගම කුඩාගමගේ ජනිත චින්තක යන තිදෙනා ලුණුගම් වෙහෙර රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා  හම්බන්තොට මහ රෝහල වෙත මාරුකර යවා තිබේ.

ඒ අතරිනුත් රියැදුරු හැර අනෙක් දෙදෙනාගේ තත්වය බරපතළ බවත් ඔවුන් හම්බන්තොට මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් රෝහල් ප්‍රකාංශකයෙක් පැවසීය.  අනතුර සිදුවන අවස්ථාව වන විට වෑන් රථයේ තරුණයන් නව දෙනකු පැමිණ ඇති අතර පිරිස අලුයම ගාල්ල ප්‍රදේශයේ මිතුරන් කිහිප දෙනකු සමග එකතු වී මේ වන්දනා ගමනට පැමීණෙ තිබේ. තරුණයන් පිරිස රැගත් වෑන් රථය දක්ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ පැමිණ අලුයම 1.20ට පමණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීමේ දොරටුවෙන් පිටවී මත්තල මාර්ගය ඔස්සේ කතරගම දෙසට ධාවනය කර ඇති බව පොලිසිය කල මූලික පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

මත්තල පිටවීමේ දොරටුවෙන් පසු කිලෝ මීටර් 12ක් පමණ ගිය විට ඇති 22 හන්දියේදී හමුවන තණමල්විල මාතර ප්‍රධාන මාර්ගයෙන් කතරගම දෙසට යන්නට දකුණට හැරවිය යුතු අතර වෑන් රථය එකවරම මෙම ටී හන්දියෙන් හැරවීමට යාමේ දී මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විශාල පළු ගසක වැදී අනතුරට පත්වන්නට ඇතැයි පොලිසිය කියයි.  අනතුර සිදුවන විට වෑන් රථයේ වේග මීටරය 120 ලෙස සටහන්ව ඇති අතර එකවර ටී හන්දියෙන් වෑන් රථය හරවා ගැනීමට නොහැකි වීමෙන් මෙම අනතුර  සිදුවී ඇති බව මූලික පොලිස් පරික්‍ෂණවලදී අනාවරණය විය.

-දීලිප් ජයසේකර-