කොරෝනා රෝගයට ගොදුරුවූ කටුනායක ගුවන් තොටුපළේ සාත්තු සේවකයෙකු ගැන මීට දින දෙකකට පෙර වාර්තා පළ විය.කටුනායක ගුවන් තොටුපොළේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සාත්තු සේවකයෙකු වූ ඔහු විදේශිකයන් දෙදෙනෙකුට සහය වූ අවස්ථාවක
කොරෝනා වැළඳුණ බවට සැක කළ අතර මේ වනවිට අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබයි. ප්‍රසන්න ධම්මික නමැති ඔහු ගැන වැඩිදුර විස්තර සොයා බැලීමේදී මෙම පුද්ගලයා එම රැකියාව කරන අතරම වරකාපොළ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ  මන්ත්‍රීවරයකු බවද හෙළි විය. කෑගල්ල නෙළුම්දෙණිය ප්‍රදේශයේ සිට ඔහු ගුවන් තොටුපොලට දිනපතා එයාර්ලංකා බස් රථයකින් රාජකාරී සදහා පැමිණි බව පැවසිණි. ඒ අනුව ඔහු සමග ගුවන් තොටුපළේ කාර්යාලයේ වැඩ කළ අය හා බස් රථයේ සම්බන්ධවූ අයට නිරෝධායනයට උපදෙස් දී තිබුණි.
 ප්‍රසන්න ධම්මික මහතාට කෝරානා වෛරසය ආසාදනය වීමෙන් පසු ලබාගත් ප්‍රකාශ අනුව ඔහු පසුගිය දින කිහිපයේ දැදිගම ආසනයෙන් මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පලාත්සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා සමග මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරතවූ බවද අනාවරණය විය.

ඒ අනුව වරකාපොල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරු පිරිසකට මෙන්ම මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරතවු තවත් අයට අවදානමක් මතුවිය.
ඒ අතරම පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා පසුගිය 15දා නාමයෝජනා අත්සන් කරන අවස්ථාවේදී මෙම හිටපු පලාත්සභා මන්ත්‍රී උදයකාන්ත ගුණතිලක මහතා සමග එක්වූ අතර නාමයෝජනා අත්සන් කිරීමෙන් පසු දෙදෙනා හමුවී එම අවස්ථාවේදී එකට ඡායාරූපයකටද පෙනී සිට ඇත.
එසේම ආසාදිතයාද එම අවස්ථාවට එක්ව ඇත. සෞඛ්‍ය අංශ සදහන් කරන්නේ මෙම කාල වකවානුව තුල වෛරසය වෙනත් අයෙකුට සම්ප්‍රේෂණය විමේ ඉඩකඩ ඇති බවයි.

 මේ හේතුවෙන්  බැසිල් රාජපක්ෂ මහතාටද කොරෝනා ආසාදනය වීමේ අනතුරක සේයා මතු විය.
මේ නිසා බැසිල් රාජපක්ෂ මහතා සිය නිවෙසේ සිටම ස්වයං නිරෝධායනයකට පත් වී සිටින බව වාර්තා විය. මේ වනවිට බත්තරමුල්ලේ ඔහු සිටින නිවසට වී නිරෝධායනයේ නිරත වන්නේ යයි ද
තම නිවසට යන එන පිරිස් සම්පුර්ණයෙන්ම වළක්වා ඇති අතර නියමිත දින ගණන ඔහු මෙසේ ගත කරනු ඇති බවද ආරංචි මාර්ග වාර්තා කර තිබේ.