සුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වූ දැරියක් අපයෝජනයට ලක් කිරීමේ වීඩියෝව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යා පර්යේෂණ අංශය මගින් කරනු
ලැබූ විමර්ශනයෙන් පසු සිද්ධියට සම්බන්ධ සැකකරු  අද 19 වන දින ආඬිඅම්බලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දන්වා තිබේ.

මෙම දැරියගේ සිද්ධිය මත පදනම්ව සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවූයේ සමාජ බලය හිමි මැණික් ව්‍යාපාරිකයකු මෙයට සම්බන්ධ බවටය. රන්ජන්-පියුමි දුරකථන සංවාද වලදීද ඒ ගැන හෙළිදරව්වක් කර තිබූ නිසා ඔවුන්ගෙන්ද මේ ගැන ප්‍රශ්න කර තිබුණි.

මෙම දැරිය ගැන ආරංචිය මත ළමා ආරක්ෂණ අධිකාරිය අසළ විවිධ උද්ඝෝෂණ පවා සංවිධානය වූ අතර ඒ වනවිටත් දැරිය කවුද යන්න ගැන පවා පොලිසිය දැන සිටියේ නැත.

එසේම දැරිය අපයෝජනය කළේ ව්‍යාපාරිකයෙකු බවටද ඔහුගේ බලය නිසා අල්ලා නොගන්නා බවටද උද්ඝෝෂකයින් කරුණු දක්වා තිබුණි.

 නමුත් අල්ලාගත් සැකකරු ඒ කියන ආකාරයේ අයකු නොවූ බව පොලිසිය පවසන අතර සැකකරු මෙම දැරියගේ ඥාතියකු වන බවත් ඔහු වයස අවුරුදු 36 ක්වූ ආඬිඅම්බලම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් පොලිසිය කියයි.

වීඩියෝව සම්බන්ධව සිදුකරන ලද ජාල ගත විලේෂණ වාර්තා අනුව සිදුකළ විමර්ශනයේදී
මෙම අපයෝජනයට ලක්වූ දැරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගන්නා ලද බවද පොලිසිය විස්තර කර තිබේ. පොලිසිය සොයා යන විට සැකකරු සැඟව සිට ඇති අතර, ඔහු ආගිය තැන් දුරකථන විශේෂඥ වාර්තා අනුව පිරික්සා සිටින තැන හදුනාගෙන අල්ලාගත් බව දන්වා ඇත.


මෙම සැකකරු දැරිය ඇගේ නිවස තුලදී හා ඇගේ නිවසෙන් පිටත අවස්ථා කිහිපයකදීම මෙලෙස අපයෝජනයට ලක් කර ඇති බවට විමර්ශන මගින් තහවුරු වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කරයි.
දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර, සැකකරු 20 වන දින අළුත් කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.