අධික උෂ්ණත්වය පවතින රටක් වීම මත ශ්‍රී ලංකාවේ 'කෝවිඩ්- 19' වෛරසය ව්‍යාප්ත නොවන බවට පැතිරෙන මත විද්‍යාත්මක නොවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රියංගා රණසිංහ මහත්මිය පැවසුවාය.
උෂ්ණාධික බව නිසා රටක් වශයෙන් මෙම වෛරසයෙන් සුරක්ෂිත යැයි සිතීම මෝඩකමක් බවත්, හොඳ සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීමෙන් යම් දිනක මෙරටට වෛරසය ඇතුළු වුවත් පැතිරීම වළක්වා ගත හැකි බවත් ඇය පැවසුවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (03දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව පැවසුවාය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍යවරිය, "covid -19" නැත්නම් කොරෝනා වෛරස පිළිබඳ ලෝකයම දන්නේ තවම මාස දෙකක තුනක කාලයක් පමණයි. වෛරසය පිළිබඳ විවිධ පර්යේෂණ ලෝකයේ මේ වනවිටත් සිදු කරනු ලබනවා. නමුත් මේ දක්වා සිදුකරනු ලැබූ පර්යේෂණ මඟින් උෂ්ණත්වය වැඩි නිසා අපේ වගේ රටවල කොරෝනා වෛරසය ව්‍යාප්ත නොවන බවට තහවුරු කරගෙන නැහැ. ඒ අනුව අපි රටක් වශයෙන් උෂ්ණාධික බව නිසා මේ වෛරසයෙන් ආරක්ෂිතයි කියලා හිතනවා නම් එය මෝඩකමක්.

අපේ සෞඛ්‍ය අංශ හා විවිධ අංශවලින් ගෙන ඇති පියවර නිසා අපි දැනට ආරක්ෂිත වෙලා සිටිනවා. නමුත් ජාත්‍යන්තර සංචාරය කියන දේ අපිට නවත්වන්නට පුළුවන්කමක් නැහැ. මේවත් එක්ක ඕනෑම රටකට ඕනෑම වෙලාවක මේ වෛරසය ඇතුළු විය හැකියි.

මේ නිසයි සෞඛ්‍ය අමාත්‍යාංශය සියලුම මට්ටමෙන් විවිධ පියවර ගෙන තිබෙන්නේ. මෙහිදී ජනතාව ලෙස අපිට වගකීම් රැසක් තිබෙනවා. කොරෝනා වෛරසය බෝවෙන්නේ කහින විට හා කිවිසුම් යවනවිට විසිවෙන සෙම බිඳිති මඟින්. එස්නම් අපි හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරනවා නම් අපිට මෙම රෝගය බෝවන්නට ඇති හැකියාව අවමයි. මේ නිසා රෝගියෙක් කහින විට කිවිසුම් යන විට, ඉවත දැමිය හැකි ටිෂු භාවිත කිරීමත් එම ටිෂු නිසි පරිදි ආරක්ෂිතව ඉවත් කිරීමත් සිදුකළ යුතුයි.

තමන් ළඟ ටිෂු කඩදාසි නොමැති අවස්ථාවක වැළමිටේ ඇතුළු පැත්තෙන් කිවිසීමේදී හා කහින විට නහය හා කට වසාගත යුතුයි. එමෙන්ම හොදින් අත සේදීම පුරුද්දක් බවට පත් කර ගත යුතුයි. එයට හේතු වන්නේ යම් රෝගියෙක් කිවිසුම් යවන අවස්ථාවේ හෝ කහින අවස්ථාවේ පිටවන සෙම බිඳිති යම් පෘෂ්ඨයක තැවරී ඇති විටක එය අත ගෑවෙන පුද්ගලයෙක් තමන්ගේ මුහුණ අත ගෑම සිදුකළ විටද මෙම රෝගය බෝවන බැවින් පොදු ස්ථානවල සිටින විට මුහුණ හා ඇස් අතගෑමෙන් වැළකීමටද පුරුදු විය යුතුයි.

මෙවන් පුරුදුවලට අපි හුරු වීමෙන් හදිසියේවත් අපේ රටට මෙම වෛරසය ඇතුළු වීම සිදුවුවහොත් එය තවදුරටත් පැතිරීම වළක්වා ගත හැකියි.

- නදීශානි පතිරන -