කොදෙව් කණ්ඩායම විස්සයි20 තරඟ රටාව තුළ කිසිඳු අවස්ථාවක අවතක්සේරු කළ නොහැකි කණ්ඩායමක් බවත්, තරඟයක් වෙනස් කළ හැකි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම ඔවුන් සතුව සිටින බවත් ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග පැවසීය.
ශ්‍රී ලංකාව හා බ.ඉ. කොදෙව්. කණ්ඩායම අතර පැවැත්වෙන පළමු විස්සයි20 තරඟය පිළිබඳ ඊයේ (03දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් මාලිංග මේ බව පවසා සිටියේය.

මෙහිදී තරඟයට කණ්ඩායමේ ඇති සුදානම පිළිබඳ අදහස් දැක්වූ මාලිංග, "විශේෂ සූදානමක් නෑ. මොකද මම හැරෙන්න අනෙක් සියලුම ක්‍රීඩකයන් එක්දින තරඟ ක්‍රීඩා කළා. ඔවුන් "කන්ඩිෂන්" එකේ දක්ෂතා අතරට ඇවිල්ලා තිබෙනවා. කෙසේ නමුත් විස්සයි20 කියන්නේ වෙනම ෆෝමැට් එකක්. මං හිතනවා එක්දින තරඟ ක්‍රීඩා කළා වගේ ඔවුන් ඒ මානසිකත්වයෙන් මේ තරඟාවලියේදී දක්ෂතා දක්වයි කියලා."

එක්දින තරඟාවලියේ ලද ජයග්‍රහණයේ විශ්වාසය මෙම තරඟයට කුමන බලපෑමක් එක් කරනු ඇත්දැයි පිළිබඳ මාලිංග  දැක්වූයේ මෙවන් අදහසක්,

"අපි කාලයක් තිස්සේ එක දිගට තරඟ තුනක් ජයග්‍රහණය කරන්න බැරුව හරි අමාරු තත්ත්වයක හිටියේ. ඉතින් ඒහිටපු තත්ත්වයත් එක්ක අපි ලබාගත් ජයග්‍රහණය ගොඩක් වටිනවා ක්‍රීඩකයන්ගේ මානසිකත්වයට. ඒ වගේම ක්‍රීඩකයන්ට එක දිගට තරඟවලට ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබුණා. ඒ හැම දේමත් එක්ක බලනකොට ඔවුන් විශ්වාසයෙන් ඉන්නවා. ඒක ගොඩක් හොඳයි තවත් තරඟයකට යනකොට. තරඟයක් ජයග්‍රහණය කළාම තමයි දැනෙන්නේ ජයග්‍රහණයක් ලබන්න භාවිත කරපු හැකියාවන්. නමුත් එක දිගට තරඟ පැවැත්වෙන නිසා ඔවුන් හොඳ දේවල් ඉදිරියටත් කරගෙන යාවි."

එලඹෙන ලෝක කුසලාන තරඟාවලියට කණ්ඩායමේ සූදානම ගැන කතා කිරීම කල් වැඩි වුවත්, ක්‍රීඩකයන් සිය පෞද්ගලික විශ්වාසය ඉහළ දමාගෙන සිටින බව මාලිංග මෙහිදී පැවසීය.

"ලෝක කුසලානයට ලෑස්තිද කියන්න අමාරුයි. නමුත් අපිට දැන් අලුතෙන් පුහුණුකාරිත්වයක් ඇවිල්ලා, ක්‍රීඩකයන්ට එක දිගට තරඟ ක්‍රීඩා කරන අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ නිසා මම හිතනවා මෙම පුහුණුවීම් සහ තේරීම් එක්ක ක්‍රීඩකයන්ට ඔවුන්ගේ පෞද්ගලික විශ්වාසය වැඩිවෙලා තිබෙනවා කියලා. විශේෂයෙන් තමන්ගේ ස්ථානයක් තියෙනවා කියන විශ්වාසය වැඩිවෙලා තියෙනවා. එය ඉදිරි තරඟාවලි තුන, හතර හොඳ ආත්ම විශ්වාසයකින් ක්‍රීඩා කරන්න අවස්ථාව ලැබීමක්. ක්‍රීඩකයන්ට අවදානමක් නැතිව ක්‍රීඩා කරන්න ලැබුනොත් බය නැති කණ්ඩායමක් හැදෙයි කියලා මම හිතනවා. ඒක උදාකරගන්න එක අපේ බලාපොරොත්තුව.

විස්සයි20 කණ්ඩායම තෝරාගත්තේ දිගුකාලීන සැලසුමකට අනුව දැයි මෙහිදී මාලිංගගෙන් විමසා සිටියේය.

"මම හිතන්නේ ඔව්. නමුත් නුවන් ප්‍රදීප් සහ ධනංජයද සිල්වා ආබාධවලට ලක්ව සිටින නිසා මෙම තරඟාවලිය අහිමි වෙලා තියෙනවා. නමුත් දැනට ජාතික කණ්ඩායම නියෝජනය කරන්න පුළුවන්, එක් එක් ස්ථානවලදී ඒ, ඒ ක්‍රීඩකයන්ගේ දායකත්වය කණ්ඩායමට ලබාගන්න පුළුවන්. දැනට ලංකාවේ ඉන්න හොඳම 15 දෙනා තමයි මේ කණ්ඩායමට ඇතුළත් වෙලා තියෙන්නේ. එක්දින කණ්ඩායමෙත් අපි දැක්කා එකම කණ්ඩායමක් තරඟ තුනම ක්‍රීඩා කරනවා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න හොඳම 15 දෙනා එතන ඉඳලා තියෙනවා, විස්සයි20 සංචිතයේ වෙනසකට වුණේ ආබාධ වූ ක්‍රීඩකයන් දෙදෙනා විතරයි. ඒ අනුව දැනට විස්සයි20 සඳහා ලංකාවේ ඉන්න හොදම 15 තමයි තේරීම් කමිටු තෝරාගෙන තිබෙන්නේ. ඒක නිසා ඒක දිගට තරඟ ලාබාදීමේ කිසිම බාධාවක් වෙන එකක් නැහැ මින් ඉදිරියට."

ක්‍රීඩක ශරීර යෝග්‍යතාවය හා පන්දු රැකීමේ දියුණුව පිළිබඳ මෙහිදී මාලිංගගෙන් විමසා සිටි අතර, ඊට පිළිතුරු ලෙස ඔහු පවසා සිටියේ තරඟ දිනන්න පටන් ගන්නාවිට සුළු වැරදි මැකීගොස් හොද දේවල් ඉස්මතු වෙන බවයි.

එම වාතාවරණයට මේ වනවිට මුහුණදෙමින් සිටින බවද ඔහු පැවසීය. "අපි තරඟ දිනනකොට හැම දේම හොඳට දකිනවා. තරඟ පරදිනකොට ඒ දේ දකින්න අමාරුයි අපිට. නමුත් මෙහෙම සතියකින් දෙකකින්, නැතිනම් මාස දෙකකින් සියලුම දේවල් වෙනස් කරන්න හැකියාව ක්‍රිකට් ක්‍රීඩාව තුළ නෑ. කොළඹදී අපිත් එක්ක පුහුණුවීම් කරපු මනෝජ් අබේවික්‍රම, ඒ වගේම රුවින් පීරිස්, රොමේෂ් රත්නායක සර්, එතකොට දැන් අලුතින් පුහුණුකරුවන් සිවුදෙනෙක් ඇවිල්ලා තියෙනවා." යනුවෙන් පැවසීය.