කෝවිඩ් 19ට සමාන රෝග ලක්ෂණ සහිත පියපුතු දෙදෙනෙකු ඊයේ (04දා) අලුයම බදුල්ල මහ රෝහලේ විශේෂ වාට්ටුවට ඇතුළත් කර ඇතැයි බදුල්ල රෝහල් ආරංචි මාර්ග පවසයි. බණ්ඩාරවෙල හීල්ඔය අම්පිටිය
පදිංචි වයස අවුරුදු තිස් එකක පියෙකු සහ වයස අවුරුදු හතක පිරිමි දරුවකු මෙසේ කෝවිඩ් 19ට සමාන රෝග ලක්ෂණ ඇති බවට සැකපිට බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත.

මෙම දෙදෙනා ඉකුත් පෙබරවාරි මස 27 වන දින දකුණු කොරියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ බණ්ඩාරවෙලට පැමිණ ඇති අතර, නිවසට පැමිණීමෙන් පසු කෝවිඩ් 19 රෝග ලක්ෂණ මතුවීමත් සමඟ බදුල්ල මහ රෝහලට ඇතුළත් කර තිබේ.

බදුල්ල මහ රෝහලේ විශේෂිත වාට්ටුවකට මෙම දෙදෙනා ඇතුළත් කර තිබෙන අතර කෝවිඩ් 19 රෝග පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇතැයි බදුල්ල මහ රෝහල් ආරංචි මාර්ග පැවසීය.

මේ අතර දකුණු කොරියාවේ සිට සිය දෙමාපියන් සමඟ දින කීපයකට පෙර මෙරටට පැමිණි මාස හතක් වයසැති සිඟිත්තෙකුට කෝවිඩ් 19 රෝගය වැළදී ඇතැයි සැක සිතා පෙරේදා (03) රාත්‍රියේ බදුල්ල පළාත් මහ රෝහලේ විශේෂ ඒකකයට ඇතුළත් කළ බව බදුල්ල පළාත් මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජිත් අමරකෝන් මහතා පැවසීය. දරුවා සමඟ ඔහුගේ මව හා පියාද නිරෝධායන කටයුතු සඳහා රෝහලේ විශේෂිත වාට්ටුවකට ඇතුළත් කර ඇතැයිද නියෝජ්‍ය අධ්‍යක්ෂ රංජිත් අමරකෝන් මහතා පැවසීය.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ දකුණු කොරියාවේ සිට මෙරටට පැමිණි බණ්ඩාරවෙල හීල්ඔය ප්‍රදේශයේ පදිංචි වයස මාස හතක දරුවෙකි. මේ සම්බන්ධයෙන් බදුල්ල පළාත් මහ රෝහලේ විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරී දර්ශන වීරසේකර මහතාගෙන් කළ විමසීමේදී මෙසේ පැවසීය.

"දකුණු කොරියාවේ සිට පැමිණි මාස හතක දරුවෙකු අධික උණ සහ කැස්ස හේතුවෙන් පෙරේදා (03දා) රාත්‍රියේ අප රෝහලට ඇතුළත් කරනු ලැබුවා. රෝග ලක්ෂණවලට අනුව ඔහුට කොරෝනා රෝගය වැලඳී ඇතැයි සැක සිතීම නිසා ඔහු සහ ඔහුගේ දෙමාපියන් මේ වනවිට රෝහලේ විශේෂ ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර ලබනවා. දරුවාගේ මවට සහ පියාට රෝග ලක්ෂණ නොමැති වුවත් ඔවුන් දෙදෙනාද දරුවා සමඟ නිරෝධායන කටයුතු සඳහා රඳවාගෙන සිටිනවා. දරුවාගේ රෝගී තත්ත්වය කෙරෝනා රෝගයද නැතහොත් වෙනත් රෝගයක්ද යන්න තහවුරු කරගැනීම සඳහා දරුවාගේ රුධිර සාම්පල් පරීක්ෂණාගාර වෙත මේ වනවිට යවා තිබෙනවා.

පරික්ෂණ වාර්තා පැමිණෙන තුරු අපට මේ සම්බන්ධයෙන් මීට වඩා යමක් ප්‍රකාශ කරන්න බැහැ.කෙසේ වෙතත් නිරෝධායන කටයුතු ඉතාම සුරක්ෂිත අයුරින් සිදුවෙන බවත් ඔවුන්ට යම් හෙයකින් රෝගය වැලඳී තිබුණත් ඔවුන්ගෙන් රෝගය පැතිර යෑමේ ඉඩකඩක් කිසිසේත් නොමැති බව වගකීමෙන් යුතුව ප්‍රකාශ කරනවා.”

- රවිඳු දසුන්-