අපිරිසිදු තත්ත්වයෙන් ආපනශාලා පවත්වාගෙන යාම සම්බන්ධයෙන් මාලිගාකන්ද අධිකරණය හමුව් වරද පිළිගත් කොළඹ බැස්ටියන් මාවතේ පෞද්ගලික බස් නැවතුම්පොළෙහි ආපන ශාලා හිමියන් 13 දෙනකුට මාලිගාකන්ද මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විසින් තරයේ අවවාද කරමින් රුපියල් 5000 බැගින්
රුපියල් 65,000ක දඩයක් නියම කළේය. මින් එක් ආපනශාලා හිමියකුට අධිකරණය මගහැරීම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කළේය.


මෙම ආපන ශාලාවලින් ආහාර ගත් මගීන් කිහිපදෙනකු රෝගී වී ඇති බවට ලැබුණු පැමිණිලි රැසක් මත කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස් නීතිඥ රෝෂිනී දිසානායක හා ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් විජේමුණි යන මහත්ම මහත්මීන්ගේ මෙහෙයවීමෙන් නිලධාරීන් විසින් කරන ලද හදිසි වැටලීමකින් සැකකරුවෝ අත්අඩංගුවට ගනු ලැබූහ.

ශීතකරණවල ඉතා අපිරිසිදු ලෙස ආහාර ගබඩා කිරිම, අපිරිසිදුව මුළුතැන්ගෙය පවත්වාගෙන යාම, අපිරිසිදු තත්ත්වයෙන් ආහාර පිළියෙළ කිරීම, මැස්සන්ට හා දුහුවිල්ලට ආහාර විවෘත කර තැබීම, අපිරිසුදු දෑත්වලින් ආහාර ඇල්ලීම, ආහාර පිසින හා පිළිගන්වන සේවකයන් අපිරිසිදු ඇඳුම් වලින් සැරසී සිටීම, අපිරිසිදු තත්ත්වයෙන් සිටීම යන චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි.

මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා විසින් විත්තිකරුවන් 13 දෙනාට තරයේ අවවාද කරමින් මෙම දඩ මුදල් නියම කළේය. කොළඹ නගර සභාවේ වැඩ බලන ප්‍රධාන ආහාර පරික්ෂක, කොළඹ කොටුව ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහබණ්ඩාරගේ ලාල් කුමාර මහතා පැමිණිල්ල මෙහෙයවීය.