ආදරවන්තයන්ගේ දිනය සැමරීම නිමිත්තෙන් මහනුවර ප්‍රධාන  පෙළේ හෝටලයක මත්ද්‍රව්‍ය භාවිත කරමින් පවත්වාගෙන යමින් තිබූ ෆේස්බුක් සාදයක් ඊයේ (16) වැටලූ මධ්‍යම පළාත් සුරාබඳු විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරිහු එම සාදයට සහභාගි වෙමින් සිටි දෙසියකට ආසන්න තරුණ තරුණියන් පිරිසක් අත්අඩංගුවට ගත්හ.  මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් පරික්ෂකවරයකු, බන්ධනාගාර
ජෙලර්වරයකු, විශ්ව විද්‍යාල සිසුන් දෙදෙනකු හා පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවල නිරත පිරිසක් ද සිටින බව මධ්‍යම පළාත් සුරාබදු විශේෂ මෙහෙයුම් ඒකකය පවසයි.

අත්අඩංගුවට ගත් පිරිස අතරේ සිටි මත්ද්‍රව සන්තකයේ තබා ගත් තරුණියන් විසි පස් දෙනකු එම සාදය සංවිධානය කළ පුද්ගලයන් ඇතුළු තවත් දාහත් දෙනකු ද අත්අඩංගුවට ගෙන අනෙකුත් අය අවවාද කර මුදා හැරිය බව සුරාබදු නිලධාරීහු පැවසූහ. අත්අඩංගුවට ගත් පිරිස සන්තකයේ තිබී හෙරොයින්, ගංජා, අයිස්, මරිජුවානා හා මත් පෙති වර්ග විශාල ප්‍රමාණයක්  සොයාගත් බව සුරාබදු නිලධාරීහු කීහ. මුහුණු පොත ඔස්සේ සංවිධානය කර ඇති මෙම සාදය සඳහා සහභාගිවීමට රුපියල් 2500 ටිකට් පතක් නිකුත් කර ඇති අතර මත්ද්‍රව්‍ය භාවිතය සඳහා යැයි රුපියල් 3500ක් අය කර ඇති බව ද පැවසේ.

එම සාදය සඳහා මහනුවර, අනුරාධපුරේ, දඹුල්ල, ගම්පහ, කොළඹ සහ ත්‍රිකුණාමලය ආදී දුර බැහැර ප්‍රදේශ රැසකින් පැමිණ සිටි බව ද සුරා බදු නිලධාරිහු පැවසූහ. සුරා බදු නිලධාරීන් හා නිලධාරිනියන් කීපදෙනකු මුහුණු පොත ඔස්සේ අදාළ කණ්ඩායම් සමග සම්බන්ධ වී ටිකට්පත් ලබාගෙන සාදයට ඇතුළු වී එහි සියලු තොරතුරු දැන ගැනීමෙන් අනතුරුව වැටලීම සිදුකිරීමට සැරසී සිටි නිලධාරින්ට වැටලීම සිදුකරන ලෙසට දැනුම් දී ඇති අතර ඒ අනුව පහළොස් දෙනකුගෙන් සමන්විත සුරාබදු නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට කඩා වැදීම වැටලීම සිදුකර තිබේ.

සාදයට සම්බන්ධ වී සිටි පොලිස් පරීක්ෂකවරයා හා බන්ධනාගාර ජේලර්වරයා සම්බන්ධයෙන් එම
දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කිරීමට පියවර ගෙන තිබෙන අතර මත්පැන් බලපත්‍ර උල්ලංඝනය කරමින් මත්පැන් අලෙවි කිරීමේ චෝදනා මත අදාළ හෝටලයට එරහිව ද සුරා බදු නීතිය අනුව ක්‍රියා කරන බව සුරාබදු නිලධාරීහු පවසති.

-ජයන්ත සමරකෝන්-