ඇමෙරිකා එක්සත් ජනපදය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සංචාරක තහනමක් පනවා ඇති බැවින්, මෙම අවස්ථාවේ එම්.සී.සී. ගිවිසුම අවලංගු කිරීමට රජයට කටයුතු කළ හැකි බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.
විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (16දා) දින පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්
මන්ත්‍රීවරිය මේ බව සඳහන් කළේය.
මෙම ගිවිසුම අත්සන් කිරීමට රජය අකමැති නම් ඒ සම්බන්ධයෙන් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් තීරණ ගතයුතු බවද මන්ත්‍රීවරිය එහිදී පැවසීය.

මේ අතර සයින්දමරුදු අලුත් නගර සභාවක් බවට පත් කිරීම සම්බන්ධයෙන් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙලෙස අදහස් පළ කළාය.

"පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි කියලා කියපු අපේ ආණ්ඩුවේ හිටපු මුස්ලිම් අමාත්‍යවරු බදියුදීන් ඇමතිතුමාගේ නම කිව්වා. රාවුෆ් හකීම් ඇමතිතුමාගේ නම කිව්වා. මුජිබර් රහුමාන්ගේ නම කිව්වා. අසාද් සාලිගේ නම කිව්වා. මට ඒ එක්කෙනෙක් අත්අඩංගුවට අරන් පෙන්නන්නකෝ. ඒවා කරනවා වෙනුවට සයින්දමරුදුවලට, මේ ප්‍රධාන මොළකරුවා හිටපු ගමට දැන් මේ වෙනම පාලනයක් ලබා දී තියෙනවා. එහෙම කරනවා නම් තව ඡන්දේ දීපු ප්‍රදේශ තිබ්බා වෙනම නගර සභා, ප්‍රාදේශීය සභා දෙන්න. අපි මේ මුස්ලිම් විරෝධී දෙයක් කරනවා නෙවෙයි.

දැන් ඒක අපේ ආණ්ඩුව කාලේ වික්‍රමසිංහ මහත්තයා කළා නම් එහෙම අපි ඉවරයි? කල්පනා කරලා බලන්න, අපි ඒ ගැන කතාබහක හරි යෙදුණා නම් රනිල් වික්‍රමසිංහ මුස්ලිම්වරුන්ට රට විකුණනවා කියයි. මොනාද නොකියන්නේ? දැන් මේ වෙනකොට මහපාරේ මොනතරම් ස්වාමීන් වහන්සේලා උද්ඝෝෂණ කරයිද? දැන් කිසි කෙනෙක් කතා කරනවාද බලන්න. දැන් මේ ශවේන්ද්‍ර සිල්වා මැතිතුමාගේ ප්‍රශ්නෙත් එක්ක ආයෙ සැරයක් විදුලි පුටුව කියන මාතෘකාව එනවා. ඊළඟට තව සතියකින් එනවා විදේශ කුමන්ත්‍රණ වගේ දේවල්. මොකද පාස්කු ප්‍රහාරය මෙයාලට තවදුරටත් විකුණන්න බෑ” යනුවෙන්ද ඇය කියා සිටියාය.

- දිනේෂ් සමරකෝන් -