පාර්ලිමේන්තු මැතිවරණයට පෙර පොලීසිය ලවා ප්‍රහාරයක් එල්ල කරගනිමින් මිනිස් බිල්ලක් ගැනීමට විපක්‍ෂය උත්සාහ දරන්නේ යැයි ජාතික නිදහස් පෙරමුණ පවසයි. පිටකෝට්ටේ පිහිටි එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (11දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පක්‍ෂයේ ප්‍රචාරක ලේකම් මොහොමඩ් මුසම්මිල් මහතා පවසා
සිටියේ, රට තුළ උද්ඝෝෂණ මෙහෙයවීම හරහා ප්‍රචණ්ඩ, රළු තත්වයක් නිර්මාණය කිරීමට විපක්‍ෂය උත්සාහ දරන බවයි.  ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මොහොමඩ් මුසම්මිල් මහතා,

"දෙනික දීමනා යටතේ පුහුණු සේවකයන් ලෙස  සජිත් ප්‍රේමදාස මහතා හම්බන්තොටින් නිවාස සංවර්ධන අධිකාරියට බඳවාගෙන තිබෙනවා. මාස 06ක පුහුණු කාලය අවුරුදු 05ක් පුරා දීර්ඝ කරමින් ගියා. මේක බොරුවක්. මේ ළමයි රවට්ටලා තියෙන්නේ. නීත්‍යනුකූලව එහෙම පුහුණු කාලයක් පවත්වාගෙන යන්න බෑ. ඒ වගේම තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ ආයතනවලට බඳවාගෙන තියෙන්නේ. එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ තරුණියන් පුහුණු ශ්‍රමිකයන් නැත්නම් කොන්ත්‍රාත් පදනම මත දාගෙන ඔවුන් රවටා දැමීමයි ඒ අය කර තිබුණේ.

දැන් ඒ අයගේ කොන්ත්‍රාත් කාලය, පුහුණු කාලය අවසන් වීමෙන් පසු ඔවුන්ගේ තිබුණු රැකියා අහිමි වීම නිසා ඔවුන්ට දැන් මහමගට එන්න සිදුව තිබෙනවා. අපි දකිනවා විපක්‍ෂය මින් දේශපාලනයක් කරන්න උත්සාහ කරනවා කියලා. මේ හරහා විශාල අනතුරක් තියෙනවා. එක පැත්තකින් පොලීසිය ප්‍රකෝප කිරීමෙන්, අනිත් පැත්තෙන් ඒ උද්ඝෝෂණය ඇතුළේම සිටින කණ්ඩායමක්. අපට අතීත අත්දැකීම් තියෙනවා එහෙම ඉඳලා ප්‍රහාර එල්ල කළ කණ්ඩායම් ගැන.

ප්‍රහාර එල්ල කිරීමෙන් උද්ඝෝෂණ ප්‍රචණ්ඩ, රළු තැනකට ගෙන ඒමේ උත්සාහයක් තියෙනවා කියලා අපට සැකයක් තියෙනවා. මේ හරහා එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයට කලින් පොලීසිය ලවා ප්‍රහාරයක් එල්ල කරලා මිනිස් බිල්ලක් ගැනීමටයි විපක්‍ෂය උත්සාහ දරන්නේ” යනුවෙන්ද පවසා සිටියේය.


-නිදර්ශි වික්‍රමසිංහ-