ගම්පොළ පුපුරැස්ස මාර්ගයේ පාර පහ ප්‍රදේශයේ කණුව අසලින් අඩී 200ක් පමණ ප්‍රපාතයට ත්‍රීරෝද රථයක් පෙරැළී එහි ගමන් ගත් අයෙකු මියගොස් තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා ගම්පොළ ශිත්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.  මෙම ත්‍රීරෝද රථය පෙරේදා (10) රාත්‍රියේදී මෙම ස්ථානයෙන් පෙරළී ඇතත් ඒ බව
කිසිවකුත් දැක නැති අතර ඊයේ (11) උදෑසන පාසල් යමින් සිටි සිසුවකු එය දැක ප්‍රදේශවාසීන්ට දැන්වීමෙන් පසු මේ බව සොයාගෙන ඇත. අනතුරින් මිය ගොස් ඇත්තේ ගම්පොළ පන්විලතැන්න මුල්ගම වත්තේ පදිංචි දඩාර කුඹුරේ ගෙදර ප්‍රේමරත්න නමැති 51 හැවිරිදි විවාහකයකු බව පොලිසිය කියයි.

මියගිය අය ඔහුගේ ගමේ තිබූ මළගෙදරක යන බව පවසා රාත්‍රී 7ට පමණ නිවසින් පිටව ගොස් ඇති අතර ඊයේ (11) අලුයම 4ට පමණ වෙනත් අයෙකුගේ බිරියක් දුරකතන ඇමතුමක් දී මරණකරුගේ බිරියට පවසා ඇත්තේ තම සැමියා ප්‍රේමරත්න සමග නිවසින් පිටව ගියත් තාම නිවසට පැමිණ නැති බවයි. ඒ අනුව මෙම නිවෙස් දෙකේ අය මළගෙදර පැවති නිවසින්ද තම සැමියා පිළිබඳව සොයා බැලුවද ඔවුන් මළගෙදර නොපැමිණි බව දැනගෙන ඇත.

මේ වනවිට පසුදා උදේ 6 පමණ වී ඇති අතර පුපුරැස්ස ප්‍රදේශයේ ත්‍රීරෝද රථයක් පෙරැළී ඇති බව ආරංචි වීම නිසා ඔවුන් උදෑසන 7ට පමණ එම ස්ථානයට ගොස් ඇත. එහිදී එම ගම්වාසීන් විසින් ත්‍රීරෝද රථයේ මියගොස් සිටි
අයගේ මෘත දේහය මාර්ගයට ගෙනවිත් තිබියදී මොවුන් එය හඳුනාගෙන ඇති අතර තුවාලකරුවන් රෝහලට රැගෙන ගොස් ඇත. මෙම මරණය පිළිබඳ පරික්ෂණය කඳුකර
ඉහළ උතුර හදිසි මරණ පරික්ෂක ආයුර්වේද වෛද්‍ය ඒ.ඩී.ඩබ්ලිව්. දිඹුල්ගස්තැත්න මහතා විසින් ගම්පොළ රෝහලේදී පැවැත්වූ අතර එහිදී හෙළි වූයේ රාත්‍රියේ පෙරළී ඇති ත්‍රිරෝද රථයේ තිදෙනාම බරපතළ තුවාල ලබා එම ස්ථානයේ එළිවනතුරුම  සිට ඇති බවයි.

එහිදී ප්‍රේමරත්න යන අය මියගොස් ඇති බවද හෙළි විය.  මොවුන් කුමන හේතුවක් නිසා පුපුරැස්ස පාර 5 ප්‍රදේශයට  ගියේදැයි හෙළිවී නොමැති බව පොලිසිය කියයි. පශ්චාත් මරණ පරික්ෂණය ගම්පොළ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනි එස්.ඒ.අයි.කේ. සුබසිංහ මහත්මිය පවත්වා ගෙළ හා මොළයට සිදුවූ හානිවලින් සිදුවූ මරණයක් බව නිගමනය කර තිබිණි.  පුපුරැස්ස පොලිසිය පරික්ෂණය පවත්වයි.

-සුරංග රාජනායක-