පාර්ලිමේන්තුව තව තියෙන්නේ දින තුනක් පමණකැයි කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (11) පැවැසීය.  කතානායකවරයා මෙසේ පැවසුවේ සිය චරිතාපදානය ඇතුළත් "කරු ජයසූරිය" කෘතිය මැල්කම් කාදිනල්
රන්ජිත් අගරදගුරුතුමන් වෙත අගරදගුරු නිල නිවෙසේදී ඊයේ (11) පෙරවරුවේ පිළිගැන්වීමෙන් පසුව මාධ්‍යවේදීන් කළ විමසුමකදීය. කතානායකවරයා එහිදී මෙසේ ද ප්‍රකාශ කළේය.

“පාර්ලිමේන්තුව තව තියෙන්නේ දින තුනයි. 18, 19, 20. මම ඊට පස්සෙ කරන්නෙ මොකද්ද කියලා සැලසුම් කරලා නැහැ. තනතුරු තිබුණත් නැතත් රට වෙනුවෙන් ඉදිරියටත් කටයුතු කරනවා. මගේ සේවය රට වෙනුවෙන් මේ රටේ ජනතාව වෙනුවෙන් ලබා දෙනවා.

මගේ චරිතාපදානය ඇතුළත් කෘතිය මැල්කම් කාදිනල් රංජිත්  අගරදගුරුතුමාට අද පිරිනැමුවා. පසුගිය සතියේදී එය ආගමික නායකයන් කිහිප දෙනකුට පිරිනැමුවා. ඉදිරියේදී එය තවත් ආගමික නායකයන්ට පිරිනමනවා. මේ පොතෙන් අපේ රටේ තරුණ පරපුරට යම් ආදර්ශයක් ලැබේවි යැයි මා බලාපොරොත්තු වෙනවා යැයි ද ඔහු කීවේය.

-සුජිත් හේවාජුලියගේ-