සංචාරක ඉන්දීය කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් එක්දින තරඟයෙන් කඩුලු 05ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම ඊයේ (11දා) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග තරඟාවලිය තරඟ 3-0ක් ලෙස ජය ගැනීමට නවසීලන්තයට හැකිවිය. ඉන්දීය කණ්ඩායමෙන් හිමිවූ ලකුණු 297ක ඉලක්කය තරඟයේ
48 (47.1) වැනි පන්දු වාරයේදී පසුකර යාමට නවසීලන්ත පිතිකරුවෝ සමත් වූහ. එහිදී කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දුන් මාටින් ගප්ටිල් හා හෙන්රි නිකොල්ස් පළමු කඩුල්ලට ලකුණු 106ක වටිනා සබඳතාවක් පැවැත්වූහ. මෙහිදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ ගප්ටිල්, අලංකාර හයේ පහර 06ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 66ක් රැස්කළේය.

කෙසේ නමුත් ගප්ටිල්ගේ දැවීයාමෙන් පසු කඩුල්ලේ රැඳී සිටි නිකොල්ස්, නවසීලන්තයට ජයග්‍රාහී මාවත එළිපෙහෙළි කර දුන්නේය. ඔහු සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 80කට දැවී ගියේය. මෙහිදී නවසීලන්ත ජයග්‍රහණය වේගවත් කළ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් නොදැවී ලකුණු 58ක් රැස් කළ අතර, ඒ සඳහා ඔහු මුහුණදුන්නේ පන්දු 28කට පමණි. ග්‍රෑන්ඩ්හෝම්ගේ ඉනිමට හතරේ පහර 06ක් හා හයේ පහර 03ක් ඇතුළත් විය. මවුන්ට් මන්ගනේහි බේ ඕවල් ක්‍රීඩාංගනයේ පැවති මෙම තරඟයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමට පන්දුවාර 50 තුළදී කඩුලු 70ක් දැවී රැස් කළ හැකිවූයේ ලකුණු 296ක් පමණි.

එහිදී එක්දින දිවියේ සිව්වැනි ශතකය ලබාගත් ලෝකේෂ් රාහුල් ලකුණු 112ක් රැස් කිරීමට සමත් විය. මීට අමතරව ශ්‍රෙයාස් අයියර්ගේ පිත්තෙන් ලකුණු 62ක් වාර්තා විය. නවසීලන්තය වෙනුවෙන් හමිෂ් බෙනට් කඩුලු 04ක් දවාගත්තේය.

තරඟයේ වීරයා ලෙස හෙන්රී නිකොල්ස් සම්මානය දිනාගත් අතර, තරඟාවලියේ වීරයා සම්මානය තරඟ තුන තුළදී ලකුණු 194ක් රැස්කළ රොස් ටේලර්ට හිමිවිය.

ඉන්දියාව ලැබූ මෙම පරාජය සැලකෙන්නේ ඔවුන් වසර 31කට පසු තරඟ තුනක් හෝ ඊට වැඩි තරඟාවලියක් තරඟ 3-0ක් ලෙස පරාජය වූ පළමු අවස්ථාව ලෙසිනි. අවසන් වරට ඔවුන් මෙවැනි පරාජයක් අත්විඳ තිබුණේ 1989 වසරේදී බ.ඉ. කොදෙව්වන් හමුවේ තරඟ 5-0ක් ලෙස පරාජයක් ලෙසිනි.

එමෙන්ම ඉන්දියාවට එරෙහිව නවසීලන්තය (297/මවුන් මන්ගනේ) හඹා ගොස් ලැබූ දෙවැනි ඉහළම ජයග්‍රහණය මෙය වන අතර, මෙම තරඟාවලියේ පළමු තරඟයේදී (348/හැමිල්ටන්) නවසීලන්තය එහි හොඳම හඹායෑමද වාර්තා කළේය.

කෙසේ නමුත් ඉන්දු - නවසීලන්ත එක්දින තරඟාවලියට පෙර පැවති තරඟ පහකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරඟාවලිය තරඟ 5-0ක් ලෙස ඉන්දියාව හමුවේ පරාජය වීමට සත්කාරක නවසීලන්තයට සිදුවිය.

ඉන්දියාව296/7 (පන්දුවාර 50)

ලෝකේෂ් රාහුල් 112(113, 4x9, 6x2)
ශ්‍රෙයාස් අයියර් 62(63, 4x9)
මනිෂ් පාණ්ඩේ 42 (48, 4x2)
හමිෂ් බෙනට් | 4/64 (10)
කයිල් ජමීසන් 1/53(10)

නවසීලන්තය 300/5 (පන්දුවාර 47.1)

හෙරී නිකොල්ස් 80 (103, 4x9)
මාටින් ගප්ටිල් 66 (46, 4x6, 6x4)
කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් 58* (28, 4x6, 6x3)
ටොම් ලේතම් 32(34,4x3)
යුස්වෙන්ද්‍ර චහාල් 3/47(10)
රවින්ද්‍ර ජඩේජා 1/45(10)