තිරප්පන ප්‍රදේශයේදී ගංජා විකුණන තිපොළක් වැටලීමක දී එහි සිටි බව කියන කාන්තාවකට වස ශරීර ගත වීම නිසා ගංජා වැටලීම පසෙකලා ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට වැටලීමට ගිය පොලිස් නිලධාරින්ට සිදුවූ බව තිරප්පනේ පොලිසිය කියයි. 38 හැවිරිදි මේ කාන්තාව සැමියා  හා එක්ව ගංජා හා
කසිප්පු විකුණා කිහිප අවස්ථාවකදිම පොලීසියට හසුවි ඇති අතර නැතත් ඇය සිය නිවසේ රහසිගතව ගංජා විකිණීමේ ජාවාරමේ යෙදෙන බවට තිරප්පනේ පොලීසියට තොරතුරක් ලැබී තිබුණු බව පොලිසිය කියයි.

ඒ අනුව තිරප්පනේ පොලිසියේ නිලධාරින් හා නිලධාරිනියන් කණ්ඩායමක් පෙරේදා (5) පෙරවරුවේ ඇගේ නිවෙස පරීක්‍ෂාට ලක් කළ අවස්ථාවේ එම නිවස තුළ තිබී ගංජා පැකට් කරන කඩදාසි කොළ කිහිපයක් නිවස ඉදිරිපිට මල්පෝච්චියක්  යට සගවා තිබී ග්‍රෑම් දෙකක ගංජා පැකැට්ටුවක්ද හමු වූ බව පොලීසිය කියයි. ඒ සමගම පොලිසියේ නිලධාරීන් පිරිසට බැන වදිමින් කෑ ගසන්නට පටන් ගත් ඇයට වස ශරීර ගතවීමෙන් පසු පොලිස් නිලධාරීන් හා නිලධාරීනියන් පිරිස වහා ක්‍රියාත්මක වී ඇයට ප්‍රථමාධාර ලබා දි "සුවසැරිය" ගිලන් රථයකින් ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලට රැගෙන ගොස් තිබුණි.

රෝහලේද්දී ඇය පරීක්ෂා කළ වෛද්‍යවරුන් නිගමනය කර ඇත්තේ සුළු වස ප්‍රමාණයක් ශරීර ගත වී තිබු බවත් පොලිසියේ පිරිස ඇයට ප්‍රථමාධාර  ලබාදී වමනය කරවීම නිසා වස ශරීරගතවීම වැළකී ඇති බවත්ය. මේ නිසා  ඊයේ (6) වනවිට ඇයගේ තත්ත්වය සුව අතට හැරී තිබුණු බව ද අසන්නට ලැබුණි.

ඇයගේ නිවස ඉදිරිපිට මල් පෝච්චිය යට තිබී හමු වූ ගංජා පැකැට්ටුව සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර රත්නායක මහතාගේ මෙහෙයවිමන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

-අතුල බණ්ඩාර-