කොරෝනා වෛරසයෙන් පීඩාවට පත්වූ චීන ජාතිකයන් වෙනුවෙන් ලෝ ප්‍රකට සිලෝන් කලු තේ (Black Tea) තොගයක් පරිත්‍යාග කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.



ශ්‍රී ලංකවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ඊයේ (06දා) ජනපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ජනපතිවරයා මෙම තේ තොගය පරිත්‍යාග කරනු ලැබීය.

දුෂ්කර අවස්ථාවේදි චීන රජයට හා ජනතාවට ශ්‍රි ලංකා රජය හා ජනතාව දැක්වූ සහායට චීන ජනාධිපති ෂී ජිං පිං මහතා හා චීන රජය වෙනුවෙන් තානාපතිවරයා ස්තූතිය පළ කළේය.

පීඩාවට පත්වූවන්ට සෙත් පතමින් පසුගියදා සංවිධානය කළ පිරිත් පිංකමට සහාය දැක්වූ සියලු දෙනාට චීන තානාපතිවරයා ස්තූතිය පළ කළේය.

වූහාන්වල සිටි සිසුන් ගෙන්වා ගැනීමට චීනය දැක්වූ සහයෝගයට ජනපතිවරයා චීන තානාපතිවරයා ස්තූතිය ප්‍රකාශ කළේය.

චීන නව අවුරුදු උදාව සමග වෛරසය අණාවරණය වූ බවත් එහි බරපතල තත්ත්වය දැන ගැනීමෙත් සමග රෝගය පැතිරයෑම වැළැක්වීමට චීන රජය පියවර ගත් බව චීන තානාපතිවරයා සඳහන් කළේය.

වෛරසය පැතිරෙන ඕනෑම ස්ථානයක් පූර්ණ නිරෝධායන ක්‍රියාවලියට ලක්කර ඇතැයිද තානාපතිවරයා පැවැසීය. මෙම මරණ වලින් 99%ක්ම වාර්තා වන්නේ වූහාන්වලින් බව තානාපතිවරයා පැවැසීය.

චීන නව අවුරුද්ද සැමරීම සඳහා චීනයට ගිය ජනතාව යළිත් ශ්‍රී ලංකාවට පැමිණ නොමැති බවත් ඔවුන්ගෙන් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රමාද කරන ලෙස ඉල්ලා ඇති බවත් තානාපතිවරයා සඳහන් කළේය.

එසේම මේ වන විට ශ්‍රී ලංකාවට පැමිණ ඇති අයට හුදෙකලාව සිටින ලෙස දැනුම් දී ඇති බවද ඔහු සඳහ්න කළේය.

උද්ගත වූ තත්ත්වය හේතුවෙන් චීනයේ හා අවට කලාපයේ සියලු ආර්ථික හා සමාජීය කටයුතු වලට බලපෑමක් එල්ල වී අති බවත් සංචාරක හා ව්‍යාපාර අහිමිවීම ශ්‍රි ලංකාවටද බලපා තිබේ.

නව වෛරසය පිළිබඳ පර්යෙෂණ මණ්ඩලයක් පත්කර ඇති අතර ඒ සඳහා ඉක්මනින් විසඳුම් සොයාගැනීමට හැකිවෙනු ඇතැයිද චීන තානාපතිවරයා පැවැසීය.