නාවලපිටිය පොලිස් බල ප්‍රදේශයේ පිහිටි කොත්මලේ අධ්‍යාපන කලාපයට අයත් හපුගස්තලාව විදුහලක උසස් පෙළ හදාරන අපස්මාර රෝගයෙන් පෙළෙන සිසුවෙක් පසුගිය 18 වැනි දින පාසලට ප්‍රමාද වී පැමිණීම නිසා
විදුහල්පතිවරයා විසින් කම්මුල් දෙකට සහ කන් දෙකට සිදුකළ පහරදීමකින් රෝගාතුර වී එදිනම දහවල් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලින් කන් දෙකෙහි ඇති වී තිබෙන ආබාධයක් (නිතරම හෝ හඬක් සමඟ ශබ්දය පැහැදිලිව නොඇසීම) පිළිබඳව වැඩිදුර වෛද්‍ය පරීක්ණයක් සඳහා කන පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකිරීමට තීරණය කර තිබේ.

වයස අවුරුදු 17ක් පමණ වන නාවලපිටිය ඕවිට ප්‍රදේශයේ පදිංචි මේ වනවිට නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන මෙම සිසුවා පොලිසියට පවසා ඇත්තේ පසුගිය 18 වැනි දින පාසල් යාම සඳහා නාවලපිටියේ සිට හපුගස්තලාව බලා යන බස් රථයෙන් ගමන් කිරීමේදී බස් රථයේ ප්‍රමාදවීමක් නිසා පාසලට යනවිට උදේ 7.40 පමණ වූ බැවින් එම අවස්ථාවේ පාසල් උදෑසන රැස්වීම පැවැත්වෙමින් තිබූ නිසා තමන් සමඟ තවත් පාසල් සිසුන් සිවුදෙනෙක් පාසලේ ගේට්ටුවෙන් පිටත රැඳී සිට රැස් වීම අවසන් වූ පසු පන්ති කාමරයට ගිය බවත් පසුව තමන් පසුපස පැමිණි විදුහල්පතිවරයා ප්‍රමාද වුණේ ඇයි දැයි ඇසූ බවත්ය.

බස් රථය ප්‍රමාද වූ බව තමා පැවැසීමත් සමඟ අනෙක් සිසුන් ඉදිරියේ තමන්ගේ කම්මුල් දෙපසට පහරදුන් බවත් එහිදී එක කනකට වැදුණු පහරකදී හෝ හඬක් සමඟ එම කන් ඇසීම අඩු වී ගිය බවද පවසා තිබේ. ඉන් ටික වේලාවකට පසු කම්මුල් දෙක ඉදිමී වේදනාවක් දැනුණු නිසා පන්තියේ සිටි යහළුවන් එකතු වී සිද්ධාලේප ගෑවද අඩුවක් නොවූ අතර කන් වලට වේදනාවක් දැනුණු නිසා පන්තිය භාර ගුරුවරයාට පවසා අවසරගෙන නාවලපිටිය නගරයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන පියාට පැවැසීමෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහලට රැගෙන ගියවිට නතර කරගත් බවද පවසා තිබේ.

ඒ අනුව තුන්වෙන දිනටත් ඊයේ (20) දිනයේද තෙවන වරටත් මෙම සිසුවා වෛද්‍ය පරීක්ෂණයකට භාජන කර ඇති අතර තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.

නාවලපිටිය - අතුල දිසානායක