නයිට්‍රජන් ඔක්සයිඩ් වායු විමෝචනය සීමා කිරීම් ආණ්ඩුවේ සැලැසුම්වලට විරෝධතා දක්වමින් නෙදර්ලන්ත ගොවියෝ එරට අගනුවරට එක්රැස්ව විරෝධතාවල නිරත වෙති. නෙදර්ලන්ත ගොවියෝ පසුගිය වසරේ සිට
අවස්ථා කිහිපයකදී ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලට එරෙහිව විරෝධතාවල නිරත වූහ. මෙම නව විරෝධතා ආරම්භ වූයේ පෙරේදා ය. නෙදර්ලන්ත ගොවියෝ දහස් ගණනක් හේග් නුවරට රැස්වී විරෝධතාවයේ නියැළෙති. විරෝධතාකරුවන් ට්‍රක්ටර් රථ රැගෙන නගරයට පැමිණි අතර හමුදාව විශාල ට්‍රක් රථය හරස් කරමින් ඔවුන් නගරයේ කාර්යාහුල ස්ථානවලට යෑම වැළැක්වූහ.

හේග් අගනුවර ව්‍යාපාරික ස්ථාන සහ සාප්පු සංකීර්ණ රැසක් පිහිටා තිබෙන අතර එරටට උපායමාර්ගික වශයෙන් වැදගත් මාර්ග ද අගනුවර හරහා දිවෙයි. නයිට්‍රජන් ඔක්සයිඩ් පරිසරය දූෂණය කරන වායුවක් වන අතර එම වායුව පිටවීම අඩු කිරීමේ අරමුණින් පාර්ලිමේන්තුවේදී ඉකුත් දා විවාදයක් ද පැවැත්විණි. මෙම විරෝධතා ආරම්භ වූයේ එම විවාදයක් දිනකට පසුවය.  රජයේ අරමුදලින් ක්‍රියාත්මක නෙදර්ලන්තයේ මහජන සෞඛ්‍ය සහ පරිසරය පිළිබඳ ජාතික ආයතනයේ වාර්තා මත පදනම් වී නයිට්‍රජන් වායු විමෝචනය සිමා කිරිමට නෙදර්ලන්ත ආණ්ඩුව එලෙස තීරණය කර ඇත. ඒ සම්බන්ධයෙන් ගැනීමට නියමිත නව ක්‍රියාමාර්ග හා පියවර ඊයේ (20) නිවේදනය කිරිමට නියමිතව තිබිණි.

වේගයෙන් වගා කටයුතුවල නිරත වීමත් විශේෂයෙන්ම සත්ත්ව ගොවිපොළ කටයුතු නිසාත් වැඩි වශයෙන් නයිට්‍රජන් වායුව පිටවන බවත් එම නිසා පරිසර දුෂණය වැඩි බවත් එම ආයතනය සඳහන් කර ඇත.  කෙසේ නමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වුවමනාවෙන්ම සහ අසාධාරණ ලෙස තමන් ඉලක්ක කරගෙන ඇතැයි ගොවීහු චෝදනා කළහ. ගුවන් සේවා, ඉදි කිරීම් සහ අනෙකුත් ප්‍රධාන කර්මාන්ත ද නයිට්‍රජන් වායුව පිට කරන බවත් ඔවුන් පරිසර දූෂණයට තමන්ට වඩා වැඩි දායකත්වයක් දක්වන බවත් ගොවීහු පෙන්වාදුන්හ. දේශපාලනඥයන් ගොවීන්ට කන් දිය යුතු බව ගොවීහු සඳහන් කළහ.

නෙදර්ලන්තයේ කෂිකර්මික අංශය ලාභ උපදවන අංශයක් වන අතර වායු විමෝචනය අඩු කිරීමට සැලැසුම් කරන දේශපාලනඥයන් කෘෂිකාර්මික අංශයේ රැකියා ආරක්ෂා කිරිම සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු යැයි ද ගොවීහු කීහ.  නෙදර්ලන්ත පොලිසිය එරට ප්‍රධාන මාර්ගවල ට්‍රැක්ටර් රථ පැදවීම සදහා ගොවින් කිහිපදෙනකුට අවසර ලබා දී ඇත. එය නොසලකා හරිමින් හේග් නුවර ට්‍රැක්ටර් රථයක් පැදවූ 33 හැවිරිදි ගොවියකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි. හෙතෙම විරෝධතාවට සහභාගී වූ අයකු යැයි වාර්තා විය. හෙතෙම මහා මාර්ගයේ අනතුරුදායක තත්වයක් නිර්මාණය කළේ යැයි පොලිසිය සඳහන් කර තිබිණි.

ගොවීන් සිය ගණනක් නෙදර්ලන්ත කෘෂිකර්ම අමාත්‍යාංශයට ඇතුළුවීමට උත්සාහ කළ අතර එහිදි තවත් අයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළේය. ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ සහ සැලැසුම් සකස් කරන්නේ වැරැදි ගණනය කිරිම් සහ වැරැදි කියවීම් මත යැයි කෂිකර්මාන්තය සම්බන්ධයෙන් ආණ්ඩුවේ ක‍්‍රියාමාර්ග විවේචනය කරමින් ගොවීහු චෝදනා කළහ.