පසුගිය ආණ්ඩුවට ක්‍රියාත්මක කළ විවිධ ව්‍යාපෘති සහ වැඩසටහන් හේතුවෙන් විවිධ බැංකු, පෞද්ගලික
සමාගම් සහ පුද්ගලයන් වෙත රුපියල් බිලියන 130ක හිඟ මුදලක් ගෙවීමට සිදුවී ඇති බව ශ්‍රී  ලංකා

නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පවසයි.

මෙම හිඟ මුදල් ගෙවීම වෙනුවෙන් පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර අදාළ මුදල් වෙන්කරවා ගන්නා
බවත් ඒ ඔස්සේ විවිධ ව්‍යාපෘති ක්‍රියාත්මක කර වසර ගණනාවක් මුදල් නොලැබ අපහසුතාවට පත්ව සිටින
පිරිස් වෙත සාධාරණයක් කරන බවත් පැවැසීය.

ශ්‍රී  ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (20දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මෙම අදහස්
පළ කළ ශාන්ත බණ්ඩාර මහතා වත්මන් ආණ්ඩුව කිසිදු වැඩක් නොකරන බවට විපක්ෂය කරන චෝදනා පදනම්
විරහිත අසත්‍ය චෝදනා බවත් මේ වනවිටත් රජය දැවැන්ත සංවර්ධන ක්‍රියාදාමයක් තුළින් ජනතාවාදී
වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් කීය.

වයඹ ඇළ ව්‍යාපෘතිය වත්මන් ආණ්ඩුව විසින් නතර කිරීමට පියවරගෙන ඇති බව විවිධ පාර්ශ්ව චෝදනා කළද
විෂය භාර අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගෙන් කළ විමසීමේදී කිසිසේත්ම එවැනි තීරණයක් ගෙන නොමැති
බවත් පෙර පැවැති සැලසුමට අනුව ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යන බවත් තමාට දැනුම් දුන් බවත් ඔහු
කීවේය.

ක්‍රියාවලිය ඉදිරියට කරගෙන යෑම වත්මන් සුළුතර ආණ්ඩුව හේතුවෙන් කළ නොහැකි වී ඇති බැවින් ඉදිරි මහ
මැතිවරණයෙන් පසු පිහිටුවන නව ආණ්ඩුව මඟින් සාර්ථකව රට දියුණු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන
බවත් කීය.

රටේ අනාගත දේශපාලන ක්‍රියාදාමය භාරගැනීමට නාමල් රාජපක්ෂ, දහම් සිරිසේන, විමුක්ති
කුමාරතුංග වැන්නන් පෙරට පැමිණීම අවශ්‍ය බවත් ප්‍රගතිශීලී කඳවුරේ අනාගත ජයග්‍රහණය වෙනුවෙන්
ඔවුන් සියලුදෙනා එක්ව කටයුතු කිරීම වැදගත් බවත් වැඩිදුරටත් සභාපතිවරයා පැවැසීය.


රුන්ත නිතුල්ගස්පිටිය