විදේශීය සංචාරකයන්ගෙන් අයකරන ගාස්තුවට සරිලන පහසුකම් හා සේවා සංචාරක ආයතනවලින් සපයන්නේ නැති බවත් ඒවා නිසි නියාමනයකට ලක්කිරීමේ වගකීම ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පැහැර හැර ඇති බවත් විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා ඉකුත්දා (21) නිකුත් කළ විශේෂ විගණන
වාර්තාවක සඳහන් කර ඇත. මෙම තත්වය සංචාරකයන් අතර ශ්‍රී ලංකාව අප්‍රසාදයට ලක්වීමට හේතුවක් බව ද එම වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදල, වනජීවී හා සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, ජාතික උද්භිද උද්‍යානය දෙපාර්තමේන්තුව හා ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව යටතේ පවතින ආයතනවලට සම්බන්ධ වන සංචාරක මගපෙන්වන්නන්, සෆාරි ජීප් රථ, බෝට්ටු හා සෆාරි අලි ඇතුන් හිමිකරුවන් ඇතුළු පිරිසක් විදේශිකයන් නොමග යවමින් ඔවුන්ගෙන් අයකළ යුතු නියමිත ගාස්තුවට වඩා වැඩි ගාස්තුවක් අයකරගන්නා බව ද විගණකාධිපතිවරයා එහි සඳහන් කර තිබේ.

බොහෝ ආයතන විසින් නිකුත් කරන අවසරපත් හා අවසරපත් ගාස්තු ප්‍රදර්ශනය කර ඇති ආකාරයත් වංචාවන් සඳහා මග පාදා ඇති බව ද එම වාර්තාවේ දක්වා තිබේ. සීගිරිය නැරැඹීමට එක් විදේශිකයන්ගෙන් රුපියල් පන්දහසට අධික මුදලක් අයකළද එහි නිසි පරිදි වැසිකිළි පහසුකම් පවා නැති බව ද විශාල මුදලක් වැය කර ඉදිකරන ලද කබානා පවා වසර ගණනාවක් තිස්සේ භාවිතයට නොගෙන වසා දමා ඇති බව ද ඒ අවට ආපනශාලාවල ආහාරවල ප්‍රමිතිය හා පවිත්‍රතාව සම්බන්ධයෙන් නිසි අධීක්ෂණයක් නොකෙරෙන බව ද එම වාර්තාවේ දක්වා තිබේ.

වනෝද්‍යාන අතරින් වැඩිම සංචාරක ආකර්ෂණයක් දිනාගෙන තිබෙන්නේ යාල වන උද්‍යානයයි. එහි පිවිසෙන සෆාරි ජීප් රථයක ගමන් කළ හැකි ප්‍රමාණය හයක් වන අතර ඒ හයදෙනා වෙනුවෙන් ආයතතය අයකරන ගාස්තුව රුපියල් 17,500කි. වාහනයක් ඇතුළු කිරීමට රුපියල් 4,500ක් අය කරනු ලැබේ. එහෙත් ටිකට්පත් ලබාගැනීමත් තමන් විසින්ම පවරා ගන්නා සෆාරි රථ රියැදුරෝ එක් සංචාරයෙක්ගෙන් රුපියල් හයදහස බැගින් අයකරනු ලබන බව ද එමගින් ඔවුන් එක් කණ්ඩායමකින් රුපියල් 13,350ක් වැඩිපුර අය කරගන්නා බව ද එම වාර්තාවේ සඳහන්වේ.

වනෝද්‍යානයේ පහසුවෙන් ගමන් කළ හැකි මාර්ගවල පමණක් ගමන් කරන සෆාරි රියැදුරෝ පැය දෙකක් වැනි කෙටි කාලයකින් සංචාරය නිමා කරන බව  ද එයින් සංචාරකයින්ට නිසි පරිදි වනෝද්‍යානය නැරැඹිය නොහැකි වී ඇති බව ද අනෙකුත් වනෝද්‍යානවල ද බෝට්ටු සෆාරි සපයන මාදු ගඟ වැනි ස්ථානවල ද තත්වය මේ හා සමාන බව ද එහි සඳහන් කර තිබේ.  බොහෝ ස්ථානවලින් සංචාරකයින්ට නිකුත් කරනු ලබන ටිකටිපත් වෙනත්  පරිගණකයකින් පවා මුද්‍රණය කරගත හැකි ආකාරයේ ටිකට්පත් වන අතර  ඇතැම් ඒවා අතේ දියවන තරම් සිනිඳු කඩදාසිවල මුද්‍රණය කර ඇති බව ද විගණකාධිපති වාර්තාවේ සඳහන් වේ.

මෙම ස්ථානවලින් අයකරන ගාස්තු හා සැපැයෙන පහසුකම් සම්බන්ධයෙන් අධීක්ෂණය හා නියාමනය සිදුකළ යුත්තේ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වුවත් ඔවුන් එම වගකීම නිසි පරිදි ඉටු නොකරන බව ද විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර තිබේ.

-මුදිතා දයානන්ද-