නීතිවිරෝධී ලෙස අලි පැටවකු සන්තකයේ තබා ගැනීම ඇතුළු චෝදනා 25ක් යටත් තමා ඇතුළු සිව් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැනෙන නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග
මහතා නොමැතිව වෙනත් විනිසුරුවරයකු හමුවේ විභාගයට ගැනීමට අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා, අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරිමට අභියාචනාධිකරණය 5 දා තීන්දු කළේය.

අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් මෙම නියෝගය නිකුත් කෙරිණි. අධිකරණ සංවිධාන පනතේ 46 වැනි වගන්තිය යටතේ අනිවාර්ය නිවාඩු යවා සිටින මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කර ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.

තමන්ට එරෙහි නඩුව මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ අගතිගාමි ලෙසින් විභාගය වන බවත්, එහිදී තමන්ට යුක්තිය ඉටුවිම පිළිබඳ විශ්වාසයක් තැබිය නොහැකි බවත් සිය පෙත්සමෙන් කියා සිටි පෙත්සම්කරු තමාට එරෙහිව මහාධිකරණයේ විභාග වන එම නඩුව වෙනත් විනිසුරුවරයකු වෙත යොමු කර විභාගයට ගන්නා ලෙසත්, මහාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසත් ඉල්ලා තිබිණි.

පෙත්සම්කාර තිළිණ ගමගේ මහතා වෙනුවෙන් නීතිඥ ලක්නි සිල්වා මෙනෙවියගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි සහ නීතිඥ හෆීල් ෆාරිස් යන මහත්වරු පෙනී සිටියහ. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය යොලිසිටර් ජනරාල් තුසිත්  මුදලිගේ මහතා පෙනී සිටියේය.

-තිළිණි ද සිල්වා-