ලහකාරී හැසිරීම් නිසා අපකීර්තියට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර පසුගියදා අගමැතිවරයාගේ ඉන්දීය සංචාරය සඳහා එකතුකරගැනීම ගැන සමාජ මාධ්‍ය තුළ විවිධ හාස්‍යජනක කරුණු හුවමාරු විය.
ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා ගුවන්විදුලි නාලිකාවක් අමතා මේවාට පිළිතුරු දීමට කටයුතු කර තිබේ.
තමා අගමැති මහින්ද රාජපක්ෂගේ විශ්වාසවන්තම
පුද්ගලයෙකු නිසා ඉන්දියානු සංචාරය සඳහා රැගෙන ගිය බවත් එසේ රැගෙන ගියේ කැලණියට නිවාස යෝජනා ක්‍රමයක් ලබාදීමට ඉන්දීය අගමැති මෝදි කැමති කරවාගන්නට බවත් තමා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව අගමැති මෝදි එයට කැමැත්ත පළ කළ බවත් ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා එහිදී දන්වා සිටියේය.
ඔහු මෙසේ කියයි.

'මේ පොඩි තැනින් ඇවිල්ලා ප්‍රායෝගික මිනිස්සු අපිව රැගෙන ගිහාම ප්‍රහාර එල්ල කරනවා. හැබැයි අපි නැතිව ටයිකෝට් දාගෙන ගිහාම හොරු ටිකක් අරන් ගිහාම එතකොට හරි වෙයි.තමක් නෑ අපට ප්‍රශ්නයක් නෑ ගැටලුවක් නෑ... මිනිස්සු දකින විදිහනේ.
අගමැති තුමාට කවදාවත් නැති විශේෂ පිලිගැනීමක් මං දැක්කා ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම.

අපි ඉදිරිපත් කරා එතුමාට යෝජනාවක් අපේ ජනාකීර්ණ නගරයක් වන කැලණියට නිවාස යෝජනා ක්‍රමයක් ලබාදෙන්න. එතුමා ඒකට එකග වුණා. ඒ විෂයන්ට අදාළ අමාත්‍යවරුන් දෙදෙනාත් මාවත් පමණයි එක්කගෙන ගියේ ඊට අමතරව අත්‍යවශ්‍යම පුද්ගලයෝ පමණයි මේ සංචාරයට එක්කගෙන ගියේ.

මා සම්බන්ධ වුනේ බොහොම පැහැදිලිවම කොළඹට තදාසන්න නගරයක් වන කැලණිය මං නියෝජනය කරන නිසයි.අග්‍රාමාත්‍ය තුමා ජනපතිවරණය වෙලාවේ කිරිබත්ගොඩට ඇවිල්ලා කරපු මුල්ම රැස්වීමේදී ප්‍රකාශ කළේ අපි නිවාස යෝජනා ව්‍යාපෘතියක් කැලණියට ගේනවා කියලා. ඒ සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා තමයි මාව රැගෙන ගියේ කියලා බොහොම පැහැදිලිව කියන්න ඕන.
මහින්ද රාජපක්ෂ මැතිතුමා විශ්වාසනීය පුද්ගලයො පිරිසක් පමණයි අරන් ගියේ අවශ්‍ය කරන පුද්ගලයො පිරිසක් අරන් ගියේ. මං ගැන එතුමා ගොඩක් විශ්වාස කරනවා.