සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් හට තම මාසික දායක මුදල් ගිණුම්ගත වීම පිළිබඳ ක්‍ෂණිකව දැනුම්දීමේ ජංගම දුරකථන කෙටි පණිවුඩ සේවාවක් (SMS) ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල
අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව සාමාජිකයා විසින් නම් කරනු ලබන ජංගම දුරකථන අංකයක් වෙත මෙම කෙටි පණිවුඩය ලැබෙනු ඇත. මේ වනවිට මිලියන 2.6ක් පමණ ස්ථීර සේවක සංඛ්‍යාවක් සාමාජිකත්වය දරන සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් හට තම දායක මුදල් ගිණුම්ගතවීද යන්න දැනගැනීම සඳහා මාස 06ත් 12ත් අතර කාලයක් ගත වන බැවින් එම සාමාජිකයන් ගැටලු රාශියකට මුහුණදී ඇති බවට හඳුනාගෙන තිබිණි.

ඒ අනුව ඒ පිළිබඳ අවධානය යොමු කරමින් නිපුණතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබිණි.

-නිදර්ශනී වික්‍රමසිංහ-