විදෙස් රැකියාවකට යාම සඳහා ගැබිණියකගේ දරු ගැබ විනාශ කිරිමට ඖෂධ ලබා දුන් බව කියන ඖෂධ අලෙවි ආයතනයක් පිළිබඳව පරික්ෂණ පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි කළුතර ප්‍රධාන
මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා
දකුණු කළුතර පොලිසියට නියෝග කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පෙරේදා (10) මහේස්ත්‍රාත් හමුවේ තොරතුරු අනාවරණය කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේය.

අදාළ කාන්තාව නාගොඩ මහ රෝහලට ඇතුළත් කර ඇති අතර එම ගැබිණි කාන්තාව රෝහල් පොලිසියට ලබාදුන් ප්‍රකාශයක් මත දකුණු කළුතර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂිකා දිස්නා මහත්මිය පරික්ෂණ පැවැත්වූ බවත් ඒ අනුව එම කාන්තාවගේ දරු ගැබ විනාශ කිරීම  සඳහා ඖෂධ ලබාදී ඇති බව අනාවරණය වී ඇති බවත් දකුණු කළුතර පොලිසිය නඩු මෙහෙයුම් අංශයේ කොස්තාපල් 55301 ගුණෙන්ද්‍ර මහතා අධිකරණය හමුවේ කීය.

-සුනිල් එස්.තත්ත්‍රිආරච්චි-