වෙන්නප්පුව සහ ඒ අවට  ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් පැහැරගෙන පැමිණ දරුණු වධහිංසාවලට ලක්කරන ලුණුවිල ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය බව කියන තටත් පාතාල වධකාගාරයක් ඉකුත්දා (17) රාත්‍රියේ වටලා  එහි වධයට ලක්වී පුටුවක තබා ගැට ගසා සිටි 18 හැවිරිදි තරුණයකු මුදාගෙන පාතාල
කල්ලියේ යැයි කියන අයෙක් අත්අඩංගුවට ගත් බව  වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය කියයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මීට පෙර පාතාල වධකාගරයක් පවත්වාගෙන යාම  සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගත් ඕලුමරා නමැති පාතාලයාගේ සහෝදරයකු බවද කියයි. පාතාල වධකාගාරයේ දී දරුණු වධ හිංසාවලට ලක්ව සිටි 16 හැවිරිදි ළමයකු සිය නිවසේ සිටියදී සොයාගෙන දෙදෙනාටම වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සඳහා මාරවිල මුලික මහ රෝහලට ඇතුළත් කළ බව වෙන්නප්පුව මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

නිවසේ සිටියදී සොයාගත් තරුණයා පාතාල කල්ලියට බයෙන් තමන්ට සිදු වූ වධ හිංසා ගැන පොලිසියට පැමිණිලි කිරිමට යාමෙන් වැළකී වෛද්‍ය ප්‍රතිකාර පවා නොගෙන නිවසට වී සිට ඇතැයි පොලිසිය කියයි. වධකාගාරයේදී දරුණු වධ හිංසාවලට ලක්වූ බව කියන තවත් තරුණයකු ගැනද තොරතුරු අනාවරණය වී යැයි පොලිසිය පවසයි. පාතාල වධකාගාරයේදී දරුණු වධ හිංසාවලට ලක්වී ඇතැයි කියන මෙම තරුණයා ගැන තොරතුරු අනාවරණය වී ඇත්තේ පොලිසිය මුදාගෙන රෝහල් ගත කළ තරුණයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදීය. මෙම තරුණයන් තිදෙනාම පැහැරගෙන වධකාගාරයට ගෙනවිත් පුටුවකට තබා ගැට ගසා පහරදී ඇත්තේ එකම අවස්ථාවකදී බවද පොලිසිය සඳහන් කරයි.

රෝහල්ගතකර සිටින දෙදෙනා දරුණු වධහිංසාවලට ලක්ව ඇති බව පොලිසියට පෙනී ගොස් ඇති බවද පැවසේ.  වෙන්නප්පුව ලුණුවිල ප්‍රදේශයේ නිවසක වධකාගාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පාතාල නායකයකු ලෙස සැලකෙන ඕලුමරා නමැත්තෙක් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී වෙන්නප්පුව මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පාතාල වධකාගාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පෙරේදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවේ ඕලුමරා නමැති පාතාල නායකයාගේ අයියා බවද පොලිසිය කියයි.  චීන අවන්හලක් පවත්වාගෙන යන මුවාවෙන් ඕලුමරාගේ සහෝදරයා මෙම පාතාල වධකාගාරය පවත්වාගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි.

වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාට ලැබුණු තොරතුරක් මත කරන ලද පරික්ෂණයක ප්‍රථිඵලයක් වශයෙන් මෙම දෙවැනි  වධකාගාරයද සොයා ගැනීමට හැකිවී ඇත. එය වටලන අවස්ථාවේදී  එහි පිටුපස ඇති රහසිගත කාමරයක පුටුවක තබා ලණුවලින් ගැටගසා සිටි තරුණයකුට පුද්ගලයකු  පහර දෙමින් සිට ඇතැයිද පොලිසිය කියයි. අනෙක් තරුණයින් දෙදෙනාටද වධහිංසා කර ඇත්තේ මෙවැනිම  ආකාරයට වධකාගාරයේ  මෙම පුටුවල වාඩිකරවා ලණුවලින් ගැටගසා යැයි පොලිස් පරික්ෂණවලින් හෙළි වී ඇත. දරුණු වධ හිංසාවලට ලක්වී ඔහුගේ නිවසට වී සිටි 16 හැවිරිදි ළමයාගේ පියාට මීට වසර කිහිපයකට ඉහතදී ඝාතනය කර ඇති අතර එම ඝාතනය සම්බන්ධයෙන් එම වකවානුයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕල්ලුමරා නමැති පාතාල නායකයා බවද පොලිසිය කියයි.

පහරකෑම්වලට ලක්වී සිටි තිදෙනාම සිරිගම්පොද ජනපදයේ පදිංචිකරුවෝ චෙති. අත්අඩංගුවට ගත් පාතාල ප්‍රබලයා වෙන්නප්පුව ලුණුවිල සිරිගපොද ජනපදයේ පදිංචිකරුවෙකි. පාතාල වධකාගාරයක් පවත්වාගෙන යමින් සිටියදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග පාතාල නායක ඕලුමරා සහ ඔහුගේ සගයින් කිහිපදෙනෙකු අත්අඩංගු ගැනීමෙන් පසුව ඔහුගේ සහෝදරයා මෙම පාතාල වධකාගාරය පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.
ඕලුමරා සමග පසුගිය වසරේදී අත්අඩංගුවට ගත් අය අතර ඔහුගේ තවත් සහෝදරයකුද සිටි බව පොලිසිය කීය. ඕලුමරාගේ වධකාගාරය සොයාගනු ලැබුවේද සහකාර පොලිස් අධිකාරී  එරික් පෙරේරා මහතාට ලැබුණු තොරතුරක් මතය.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-