නව කොරෝනා වෛරසය නිසා ඉදිරි කාලයේදී චීන ආර්ථිකය යම් පසුබැසීමක් පෙන්නුම් කළද, එය යළිත් වර්ධනය වීමේ අවස්ථාවක් පවතින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)කළමනාකාර අධ්‍යක්ෂිකා
ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා පවසයි. පසුගියදා ඩුබායි නුවරදී පැවැත්වුණු ගෝලීය කාන්නා හමුවේදී ඇය මේ අදහස් පළ කර තිබේ.

මෙහිදී 2002 වසරේ ඇතිවූ SARsවෛරස ව්‍යාප්තිය උදාහරණ ලෙස ඉදිරිපත් කරන ඇය, එම අවස්ථාවේදී චීන ආර්ථිකය ගෝලීය ආර්ථිකයෙන් 8%ක් පමණක් වූ බවත්, අද වනවිට එය 19%ක් දක්වා වර්ධනය වී ඇති බවත් පෙන්වා දෙයි.

අද වනවිට ලෝකයේ පළමු වැනි සහ දෙවැනි විශාලතම ආර්ථිකයන් දෙක වන ඇමෙරිකා එක්සත් ජනපදයත් - චීනයත් අතර පසුගියදා අත්සන් තැබුණු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන්ද මෙහිදී ඇය සිය සතුට පළ කර තිබේ.

"චීනය ගත්තොත්, ඔවුන්ගේ ආර්ථිකය මන්දගාමී වීම ස්වාභාවිකයි. හැබැයි එය අධිවේගවත් සහ ඉහළ ගුණාත්මක බවකින් යුතු වර්ධනයක් කරා සංක්‍රාන්තියක් ලබන්නත් පුළුවන්. ඒ වගේම තමයි, මේ ගිවිසුමෙන් පස්සේ දෙරට අතර පැවැති වෙළෙඳ ආතතිය ලිහිල්වීම 2020 වසර සඳහා වන චීන ආර්ථික වර්ධනයේ පුරෝකතනයන්හි යම් වර්ධනයක් ඇති කරාවි." ඇය පවසයි.

ඒ අනුව මෙම නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සිදු කෙරෙන යම් පාලනයකදී චීන ආර්ථිකයේ වර්ධනය යම් තරමකින් අඩුවීමකට ලක්ව යළිත් එය වර්ධනය වීමේ හැකියාවක් පවතින බව ඇගේ අදහස වී තිබේ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වා ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකාව, කෙසේ වෙතත් මෙම නව කොරෝනා වෛරසය හේතුවෙන් පැහැදිලිවම මේ වසර තුළදී ලෝක ආර්ථික වර්ධනයේ යම් පසුබැසීමක් සිදුවන බව අවධාරණය කර තිබේ.

"මෙතැනදී අනිවාර්යයෙන්ම ලෝක ආර්ථික වර්ධනයේ යම් අඩුවක් සිදුවෙනවා. එය 0.1%ත් 0.2% ත් අතර අගයක් ගනීවි කියලා අපි තවමත් බලාපොරොත්තු තබා තිබෙනවා." ඇය එලෙස පවසා ඇත.

"හැබැයි තවමත් කිසිම හදිසි ඉක්මන් නිගමනයකට එන්න එපා කියලා මම හැමෝටම උපදෙස් දෙනවා. තවමත් මේ තත්ත්වයේ යම් අස්ථාවරත්වයක් පවතිනවා.” ඇය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පසුගිය ජනවාරි මාසයේදී ඉදිරිපත් කළ  World Economic Outlook හි යාවත්කාලීන කෙරුණු වාර්තාව තුළදීද 2020 වසර සඳහා වන ආර්ථික වර්ධන වේගයේ පුරෝකථනය 0.1%කින් පසුබස්වමින් 3.3%ක අගයකට පත්කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් කරුණු දක්වන මූල්‍ය අරමුදලේ ප්‍රධානියා, තවමත් මේ නව කොරෝනා ව්‍යාප්තිය නිසා සිදුවන සම්පූර්ණ බලපෑම ගැන කරුණු දැක්වීම සඳහා කල් වැඩි බව පෙන්වාදෙයි. එහෙත් මේ වනවිටත් සංචාරක සහ ප්‍රවාහන යන ක්ෂේත්‍ර වෙත මෙම වෛරසයේ බලපෑම එල්ල වී ඇති බව පැහැදිලි යැයි ඇය පවසයි.

"තවමත් මේ ගැන යමක් කියන්න කල් වැඩියි. මොකද මේ වෛරසයේ ස්වභාවය ගැන අපිට හරි හැටි අවබෝධයක් නැහැ. චීනය මේ තත්ත්වය පාලනයට මොන වගේ වේගයකින් ක්‍රියා කරාවිද කියලා අපි තවම දන්නේ නැහැ. ඒ වගේම තමයි, මේ වෛරසය ලෝකයේ අනෙකුත් ප්‍රදේශවලටත් මොන විදියකින් ව්‍යාප්ත වේවිද කියලා අපි තවම දන්නේ නැහැ." ඇය පවසයි.

මේ අතර, නව කොරෝනා වෛරසයේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් චීන ජනපතිවරයා සහ බ්‍රිතාන්‍ය අගමැතිවරයා අතර පසුගියදා දුරකථනය හරහා සාකච්ඡාවක් පවත්වා ඇති අතර, එහිදී අදහස් දක්වා ඇති චීන ජනපති ෂී ජින්පිං, දැනට චීනය මෙම වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පෙනෙන මට්ටමින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගෙන' ඇතැයි සඳහන් කර තිබේ.

"මේ වෛරසයට එරෙහි සටන දැන් තීරණාත්මක අවධියකට පැමිණිලා. මේ සඳහා සම්පූර්ණ රටම ඊට සූදානම් කිරීම වගේම, මේ වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා ගත හැකි වඩාත් සුවිශේෂී, බරපතළ ක්‍රමවේද වෙත යොමුවීමටත් අපට සිදුවෙලා. මේ අසීරු උත්සාහයන්ට ස්තූතිවන්ත වෙන්න, අද වනවිට මේ තත්ත්වය තුළ කැපීපෙනෙන වෙනස්කම් දැකගත හැකි වෙනවා.” චීන ජනාධිපතිවරයා පවසා ඇත.

ඊයේ දිනය වනවිට මෙම නව කොරෝනා (coVID 19) වෛරසය හේතුවෙන් චීනය තුළදී පමණක් පුද්ගලයන් 2,007 දෙනෙකු මරණයට පත්ව තිබුණි. චීනයෙන් පිටත සිදුවුණු මරණ සංඛ්‍යාව 6කි. එසේම රෝගය වැලැඳුණු සංඛ්‍යාව 74,000ක් ඉක්මවා තිබේ. මීට අමතරව ලොව තවත් රටවල් 28කදී නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට ස්ථීර වූ රෝගීන් 1,000කට වැඩි පිරිසක්ද හඳුනාගෙන ඇත.

 -භානුක අමරසිංහ-