ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රබල කණ්ඩායම් අතර පාකිස්තානය යනු ඉදිරියෙන්ම සිටින කණ්ඩායමකි. ඔවුන් එක්දින මෙන්ම විස්සයි20 (1992/2009) ලෝක ශූරයන් වන අතර, එක්දින හා විස්සයි20 (1999/2007) ලෝක
අනුශූරතාවද දිනා ඇත. එපමණක් නොව 2017 වසරේ එංගලන්තයේ පැවති ශූරයන්ගේ තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට තරම් දක්‍ෂ වූ කණ්ඩායමකි.

කෙසේ නමුත් 2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමට පාකිස්තානයේ ලාහෝර්හිදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයත් සමග එරටට ජාත්‍යන්තර ක්‍රිකට් දොරගුළු වැටුණු අතර, බොහෝ රටවල් අදටත් පාකිස්තානයේ සංචාරය කිරීමට බියගුළුකමක් දක්වයි. ගෙවීගිය දසවසර තුළ පාකිස්තානයේ සංචාරය කර ඇත්තේ ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ හා බංග්ලාදේශය පමණි.

කුමාර් සංගක්කාරද ලාහෝර් ප්‍රහාරයට මුහුණ දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගෙන් එක් අයෙකු වන අතර, අද ඔහු ලොව ප්‍රධාන ක්‍රීඩා සමාජයක් වන එංගලන්තයේ මාර්ලිබෝන් ක්‍රීඩා සමාජයේ (Mcc)සභාපතිවරයාය. කෙසේ නමුත් සංගාගේ වත්මන් උත්සාහය පකිස්තානයෙන් වැළලී යන ජාත්‍යන්තර ක්‍රිකට් යළි පාකිස්තාන දේශයට රැගෙන ඒමයි. ඊට උත්තේජනයක් ලෙස ඔහු මේ දිනවල එම්.සී.සී. කණ්ඩායමක් සමගින් පාකිස්තානයේ තරඟ සංචාරයකට එක්ව ඇත.

සංගාගේ මෙම උත්සාහයට සිය කෘතගුණ දක්වන පාකිස්තාන හිටපු නායක වකාර් යුනිස් පවසන්නේ, සංගක්කාර විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙකුටත් වඩා විශිෂ්ට මිනිසෙකු බවයි.

“සංගක්කාර, ඔබ විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් විතරක් නෙමෙයි, විශිෂ්ට මිනිසෙකු බවත් පෙන්වුවා. පාකිස්තානයේ ක්‍රිකට් වෙනුවෙන් මෙම අසීරු කාලයේදී අපට සහයෝගය දැක්වීමට පැමිණීම ගැන ස්තූතියි. අපගේ හදවතේ ඔබ ගැන විශේෂ ස්ථානයක් වෙන්වෙලා තිබෙනවා. ඒ වගේම පාකිස්තානයට පැමිණීම ගැන එම්.සී.සී.යටත් ස්තූතියි" යනුවෙන් වකාර් යුනිස් සිය ට්විටර් ගිණුමේ පණිවිඩයක් නිකුත් කරමින් සංගක්කාරට සිය ස්තූතිය පළකර ඇත.

-විශ්ව මුදියන්සේ-