කිරිබත්ගොඩ ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට රැඳී සිටි පොලිස් කොස්තාපල් රියදුරකු ත්‍රිරෝද රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් ඊයේ(17) අලුයම පැහැරගෙන යනු ලැබ ඇතැයි කිරිබත්ගොඩ පොලිසිය කියයි.
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ කඩවත පොලිසියේ රාජකාරි කරන රාජපක්‍ෂ නමැති පොලිස් කොස්තාපල් රියැදුරෙකි. කොස්තාපල්වරයා පැහැර ගත් කණ්ඩායම ඔහු පන්නල ප්‍රදේශයේ නිවසක් වෙත ගෙනැවිත් එහි සිටි අයකුට පෙන්වා යළි රැගෙන ගොස් ඇති බව අනාවරණය වී ඇතැයි ද ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

පන්නල නිවසට කොස්තාපල්වරයා රැගෙන විත් එම නිවසේ සිටි අයකුට පෙන්වන අවස්ථාවේ කොස්තාපල්වරයාගේ සිරුරේ ලේ ගලන තුවාල තිබී ඇතැයි ද පොලිසිය කියයි. පැහැරගෙන ගිය පොලිස් කොස්තාපල් රියැදුරා තවම සොයා ගැනීමට නොහැකි වූ බව ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. කිරිබත්ගොඩ හෝටලයක් අසල රැඳී සිටි කොස්තාපල්වරයා ත්‍රීරෝද රථයකින් ආ කණ්ඩායමක් පැහැර ගන්නා අන්දම ඒ අසල සිටි කිහිප දෙනකු දැක පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය කොස්තාපල්වරයා සොයා පරීක්ෂණ ආරම්භ කර ඇත. කොස්තාපල්වරයා පැහැරගෙන යාමට හතර දෙනකු පැමිණ ඇති බවත් ඒ අතර කාන්තාව ද සිට ඇති බවත් පැවසේ.


-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-