අපේ රටේ තිබෙන අධ්‍යාපන ක්‍රමය ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක් නොවෙයි. ශිෂ්‍යයින්ට බර දෙන පිළිගත් විභාග කේන්ද්‍රීය අධ්‍යපන ක්‍රමයක්. මේ ක්‍රමය වෙනස් කර ගිෂ්‍ය කේන්ද්‍රීය අධාපන ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමේ
වගකීම ජනාධිපතිතුමා මට බාරදී තිබෙනවා. කට පාඩම් කරන විභාග ක්‍රමය වෙනස් කර ලෝකයේ දියුණු රටවල්වල ක්‍රියාත්මක කෙරෙන අධ්‍යාපන ක්‍රමයක් අපේ රටේ ක්‍රියාත්මක කළ යුතු යැයි අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ඉකුත් 15 වැනිදා දෙයියන්දර දී පැවසීය.

මුලටියන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පෙර පාසල් දරුවන්ට හා ගුරු මහත්මීන්ට නිල ඇඳුම් ලබාදීම නිමිත්තෙන් පැවැති උත්සවයේ දී අමාත්‍යවරයා එම අදහස් ප්‍රකාශ කළේය. මුලටියන ප්‍රාදේශීය සභාවේ සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා ප්‍රමුබ ප්‍රාදේශීය සභා මන්ත්‍රීන් හා මාතර දිස්ත්‍රික් පෙර පාසල් ගුරු මණ්ඩලයේ සභාපති හිටපු පළාත් සභා  මන්ත්‍රී සරත් ද අල්විස් මහතා එක්ව එම උළෙල සංවිධානය කර තිබුණි. එදින පෙර පාසල් 44ක දරුවන් 1200 දෙනකුට හා ගුරු මහත්මින් 75 දෙනකුට නිල ඇඳුම් ලබාදීමට කටයුතු කර තිබුණි. අමාත්‍යවරයා එහිදී මෙසේද කීය.

සෞභාග්‍යයේ දැත්මේ 20 වැනි පිටුවේ පෙර පාසල් හා පෙර පාසල්  ගුරුවරුන් පිළිබඳව විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා. පෙර පාසල්වල පොදු පාඨමාලාවක් තිබිය යුතුයි. අපේ රටේ පළාත් සභාවෙන් පළාත්  සභාවලට ඒක වෙනස් වෙනවා. විෂය මාලාවක් නැහැ. මධ්‍යම ආණ්ඩුවේ නියාමනයක් නැහැ. ඒ වගකීම අරගෙන නැහැ. ලෝකයේ පෙර පාසල්වලට වෙනම ප්‍රමිතියක් තිබෙනවා. ඒ රටවල්වල දරුවන්ට වයස අවුරුදු තුන වන තුරු රූපවාහිනිය බලන්න දෙන්නේ නැහැ. රූපවාහිනියෙත් ස්මාර්ට් ෆෝන් එකෙන් නිකුත් ක්වෙන නිල් එළිය දරුවන්ගේ ඇස්වලට හොඳ නැහැ. දෙයියන්දර ප්‍රාථමික විදුහලට දැනට පවත්වා ගෙන යන ස්ථානයේ පහසුකම් ඉතා අඩුයි. නගර සංවර්ධනයට සමගාමීව එම විදුහල සඳහා නව ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකර තිබෙනවා.

වැඩ කටයුතු සඳහා මුලටියන සභාපති සුනිල් ඇල්ලදෙණිය මහතා සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකර තිබෙනවා. දෙයියන්දර සම්පත් මධ්‍යස්ථානය ප්‍රාථමික විදුහලට ලබාදෙන ලෙස ඉල්ලා තිබුණා. ඒ ඉල්ලීම මා ඉටු  කරනවා. එවිට තවත් ඉඩ පහසුකම් ලැබෙනවා. නගර සංවර්ධනය වගේම ප්‍රාථමික විදුහලත් ජාතික පාසල් සංවර්ධනය කළ යුතුයි. ජාතික ආරක්ෂාව හැරුණු විට ඊළගට ප්‍රමුඛත්වය දෙන ප්‍රධාන කාරණය තමයි දරුවන් හා අධ්‍යාපනය. ජනාධිපතිතුමා මට උපදෙස් දී තිබෙන්නේ. දරුවන්ගේ පැත්තෙන් බලන්න කියලයි.. ලෝකයේ හොඳම අධ්‍යපන ක්‍රමය ලෙස පිළිගන්නේ ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමයයි.

ඒ රටේ අට වසර වනතුරු විභාගයක් නැහැ. පළමු විභාගය තියෙන්නේ අට වසරේ දී 7 වසර දක්වා තිබෙන්නේ ක්‍රියාකාරකම් මත පදනම් වූ අධ්‍යාපන ක්‍රමයක්. අපේ රටේ හයේ හතේ දරුවන්ගෙන් සියයට 20කට කොන්දෙ අමාරුව හැඳී තිබෙන්නේ පාසල් පොත් බෑගයේ බර හින්දයි. කට පාඩම් කරන අධ්‍යාපන ක්‍රමයට නිසයි. මේ ක්‍රමය වෙනස් කළ යුතුයි. ලෝකයේ දියුණු අධ්‍යපන ක්‍රමයක් ගෙන එන්න ඕනා. පෙර පාසැල් පවා වෙනස් වෙන්න ඕනෑ.

අධ්‍යාපන ක්‍රමයේ වෙනස්වීම පෙර පාසලෙන් ආරම්භ විය යුතුයි. අවුරුද්දකට දින 365ක් තිබුණත් ලංකාවේ දරුවන් පාසලේ ගත කරන්නේ වසරකට දින 50ක් පමණයි. පැය 1200යි. දියුණු රටවල පැය 1800-2000 දක්වා පාසලේ ඉගෙන ගන්නවා. අපි ලෝකයේ රටවල් අතර අඩුම කාලයක් පාසලට ළමයින් එන රටක්.ලංකාවේ ජාතික පාසල් 373ක් තිබෙනවා. සමහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල එකම ජාතික පාසලක්වත් නැහැ. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 330න් 224කට ජාතික පාසලක් නැහැ. මේක බලවත් අසාධාරණයක්. ඒ නිසා හැම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම ජාතික පාසලක් ලැබෙන විදියට ජාතික පාසල් ප්‍රමාණය දහස දක්වා වැඩි කරනවා.  මේ වසර තුළ පාසල් 125ක් ජාතික පාසල් බවට පත් කරනවා.

ගුරුවරයා වෘත්තිකයකු විය යුතුයි.  වෘත්තීය සමිති පසුපස යන අයකු නොවිය යුතුයි. අපේ රටේ ගුරුවරයා  වෘත්තිකයෙකු නොවී වෘත්තීය සංගම්වල හිරවෙලා ඉන්නේ. ලෝකය  වෙනස් කරන අවිය අධ්‍යපනයයි. ඒ සඳහා ගුරුවරයාට ලොකු වගකීමක් තිබෙනවා. දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමට අධ්‍යාපන ඇමති පසුපස  යන ක්‍රමයක් තිබෙන්නේ. මේ තත්වය වෙනස්විය යුතුයි. පාසලට දරුවකු ඇතුළු කර ගැනීම විදුහල්පති සතු කාර්යයක්. ඒකට දේශපාලනඥයන් මැදිහත් වියයුතු නැහැ. ඒක පාසලට බාරදිය යුතුයි. මේ ක්‍රමය කොතරම් ගෝත්‍රික ද? ප්‍රාථමික ද? මේ ක්‍රමය වෙනස් විය යුතුයි. යැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය. මුලටියන ප්‍රා. සභා සභාපති සුනිල් ඇල්ලදෙණිය, හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රී හක්මණ පොදුජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක සරත් ද අල්විස් යන මහත්වරු ද එහිදී අදහස් දැක්වූහ.

වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, මුලටියන ප්‍රාදේශීය ලේකම් කේ.එන්. කෞශල්‍යා කුමාරි,
සහකාර ප්‍රාදේශීය ලේකම් එස්.කේ.ජී.  ප්‍රසංගිකා, මුලටියන කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ සුදත් සමරවික්‍රම යන මහත්ම  මහත්මීන් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගි වී සිටියහ.


-ජයන්ත ජයවර්ධන-