දින හතරක් තිස්සේ අතුරුදන්ව සිටි කඩවත පොලිසියේ කොස්තාපල් රියැදුරු ජයන්ත රාජපක්‍ෂ මහතා කපාකොටා කෲර අන්දමින් ඝාතනය කර ඔහුගේ සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතා පන්නල වේරහැර බුළුගොඩ ප‍්‍රදේශයේ කැලෑවක සගවා තිබියදී පොලිසිය මගින් ඊයේ 21 වැනිදා
අලූයම සොයාගෙන ඇත.
සාහසිකයන් කොස්තාපල්වරයා ඝාතනය කර ඔහුගේ ලිංග ප‍්‍රදේශය ශරීරයෙන් කපා ඉවත් කර රැුගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම ඝාතනය මෙහෙයවූ බන්ටි නමැති අපරාධකරු කොස්තාපල්වරයා කපා කොටා ඝාතනය කරන අයුරු බන්ධනාගාරයේ රඳවා සිටින තම පියාට ජංගම දුරකථනයක වයිබර් තාක්‍ෂණය ඔස්සේ සජීවීව දැකගන්නට සලස්වා ඇති බවද පොලිස් පරීක්‍ෂණවලින් අනාවරණය වී තිබේ.

පොලිස් කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් කපාකොටා ඝාතනය කළ සංවිධානාත්මක කල්ලියට නායකත්වය දුන් සුද්දා නමැති අපරාධකරු පොලිසිය මගින් පෙරේදා 20 වැනිදා රාත‍්‍රි අත්අඩංගුවට ගෙන තිබිණි.
කොස්තාපල්වරයාගේ සිරුර සගවා තිබූ ස්ථානය සොයාගෙන ඇත්තේ මෙම සැකකරුගෙන් ප‍්‍රශ්න කිරීමෙන් පසුවය. මෙම සිරුර සොයා ගන්නා අවස්ථාව වන විට එය දැඩි ලෙස කුණුවී විකෘතිව පැවැති බව පොලිසිය පවසයි.
මෙම ඝාතනය මෙහෙයවූ බව කියන ‘සුද්දා’ නමැති සැකකරු පිළිබඳව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ලින්ටන් සිල්වා මහතාට තොරතුරක් ලැබී තිබිණි.
ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් පන්නල රබර්වත්ත පාර ප‍්‍රදේශයේ නිවසක් වටලා කළ වැටලීමකදී මෙම ප‍්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවිය.
එම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීමේදී කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් ඝාතනය කළ අයුරු හෙළිවී ඇත.
විමර්ශනවලින් හෙළිවූ අන්දමට මෙම සංවිධානාත්මක කණ්ඩායම ඉකුත් 17 වැනිදා අලූයම කොස්තාපල් ජයන්ත රාජපක්‍ෂ පැහැරගෙන තිබුණේ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ හෝටලයක් අසලදීය.
ත‍්‍රිරෝද රථයකින් පැමිණි සුද්දා, බන්ටි ඇතුළු සිව් දෙනකු කොස්තාපල්වරයාට පහරදී ඔහු ති‍්‍රරෝද රථයේ දමාගෙන පන්නල ප‍්‍රදේශයේ පිහිටි බන්ටි නමැති අපරාධකරුගේ නිවසට රැුගෙන ගොස් තිබිණි.
පසුව එදින අලූයම කොස්තාපල්වරයා පන්නල කංකානියමුල්ල රක්‍ෂිතයට රැගෙන ගොස් ඇත.

එහිදී කොස්තාපල්වරයාට සුද්දා සහ තවත් අයකු කඩුවලින් පහරදී කපාකොටා ඝාතනය කර තිබේ.
කොස්තාපල්වරයා ඝාතනය කරන ආකාරය බන්ටි විසින් බන්ධනාගාරයේ සිටින තම පියාට වයිබර් තාක්‍ෂණය ඔස්සේ සජීවීව දැකබලා ගැනීමට ඉඩ සලස්වා ඇත.
කොස්තාපල්වරයා මරා දැමූ සාහසිකයන් ඔහුගේ ලිංග ප‍්‍රදේශය කඩුවකින් කපා රැගෙන ගොස් තිබූ බවද විමර්ශනවලින් හෙළිවී තිබේ.
කොස්තාපල් රාජපක්‍ෂගේ සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතා ති‍්‍රරෝද රථයක දමාගෙන පන්නල බුළුගොඩ ප‍්‍රදේශයේ කැලෑවකට රැගෙන ගිය අපරාධකරුවන් එය එහි සගවා පලාගොස් තිබිණි.
කොස්තාපල් ජයන්ත රාජපක්‍ෂ ඝාතනය කිරීමට ආසන්නතම හේතුව වී ඇත්තේ බන්ටි නමැති සැකකරුගේ මව වන මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක සමග මොහු පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාව බව විමර්ශනවලින් හෙළිවී ඇත.
ඝාතනයට ලක්වූ ජයන්ත රාජපක්‍ෂ වීරකැටිය ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙකි.
කොස්තාපල් ජයන්ත රාජපක්‍ෂ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ යෙදුණු 47 හැවිරිදි කාන්තාවක සමග වසර තුනක පමණ කාලයක් තිස්සේ අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බව විමර්ශනවලින් හෙළිවිය.
මෙම කාන්තාවගේ සැමියා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින අතර ඇගේ දරුවන් දෙදෙනා මෙම සම්බන්ධයට දැඩිව විරුද්ධ වී ඇත.
බන්ටි නමැත්තා මෙම කාන්තාවගේ වැඩිමහල් පුත‍්‍රයා වන අතර ඔහු අවස්ථා කිහිපයකදීම කොස්තාපල්වරයාට තර්ජනය කරමින් මරා දමන බව පවසා තිබූ බව විමර්ශනවලින් හෙළිවිය.
ඉකුත් 16 වැනිදා බන්ටි නමැත්තා තම මවට පහරදී ඇති අතර ඇය මේ පිළිබඳව කොස්තාපල් ජයන්ත රාජපක්‍ෂට පවසා ඇත. පසුව පොලිස් කොස්තාපල්වරයා ඇගේ නිවසට ගොස් ඇය කැඳවාගෙන කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ පිහිටි හෝටලයක නවාතැන් ගෙන සිට ඇත.
කොස්තාපල්වරයා පැහැරගෙන ගොස් තිබුණේ මෙම කාන්තාවට රාත‍්‍රි ආහාර ගෙන ඒම සඳහා හෝටලයෙන් පිටවී ප‍්‍රධාන මාර්ගය වෙත පැමිණි අවස්ථාවේදීය.
මෙම ඝාතනය මෙහෙයවූ බව කියන සුද්දා නමැත්තා අනියම් සම්බන්ධය පැවැත්වූ කාන්තාවගේ වැඩිමහල් සොහොයුරියගේ පුත‍්‍රයා බව විමර්ශනවලින් හෙළිවී ඇත.
මෙම ඝාතනයට සම්බන්ධ බව කියන බන්ටි ඇතුළු තවත් සැකකරුවන් පස් දෙනෙක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, කැලණිය කොට්ඨාස භාර පොලිස් අධිකාරි රොෂාන් ඩයස් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණය යටතේ පොලිස් පරීක්‍ෂක ලින්ටන් සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු සහ ගම්පොළ සුරංග දිල්හාන්