සමස්ත ලංකා පාසල් ළමා මලල ක්‍රීඩා (කිඩ්ස් ඇත්ලටික්) සැණකෙළියේදී නීතිය ක්‍රියාත්මක කළ බස්නාහිර පළාත් ප්‍රාථමික විෂයභාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයකුට ස්ථාන මාරුවක් ලබාදී ඇතැයි වාර්තා වේ.


එම ළමා මලල ක්‍රීඩා සැණකෙළියේදී මිශ්‍ර පාසල් කාණ්ඩයෙන් තරඟ වැදී නාවලපිටියේදී පැවැති සමස්ත ලංකා තරඟාවලියට සුදුසුකම් ලැබූ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් හතත් තරඟ නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඉවත් කිරීමට ගත් තීරණය ඊට හේතු වී තිබේ.

එහිදී ස්ථාන මාරුව ලබා තිබෙන බස්නාහිර පළාත් ප්‍රාථමික විෂයබාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා තරඟාවලියේ නීති අකුරටම ක්‍රියාත්මක කිරීමට උනන්දු වෙමින් තරඟ නීති උල්ලංඝනය කරමින් සමස්ත ලංකා තරඟාවලියට ඇතුළත් වූ බව කියන ජයවර්ධනපුර කලාපයේ පාසල් හතක් ඉන් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

මේ වනවිට ඔහුගේ ස්ථාන මාරුව තාවකාලිකව ලබා දී ඇත්තේ ප්‍රාථමික අංශයේ ඇතිවී තිබෙන ගැටලු හේතුවෙන් බව ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා නිකුත් කළ දැනුම්දීමේ ලිපියේ දන්වා තිබේ.

මෙම ළමා මලල ක්‍රීඩා සැණකෙළියේ බාලක හා බාලිකා ඉසව් සඳහා අවම සිසුන් හෝ සිසුවියන් 10ක් බැඟින් ඉදිරිපත් කිරිමට නොහැකි පාසල් සඳහා මිශ්‍ර පාසල් කාණ්ඩය වෙනුවෙන් අවම සිසුන් හා සිසුවියන් 10 දෙනකු බැඟින් වන කණ්ඩායම් එකතු කර ගනිමින් එම කාණ්ඩයට තරඟ වැදීමේ අවස්ථාව සලසාදී තිබුණි.

එහෙත් පළාත් තරඟාවලිය ජය ගනිමින් නාවලපිටියේ පැවැති සමස්ත ලංකා අවසන් වටයට නිර්දේශ වී සිටි ජයවර්ධනපුර කලාපයේද චෝදනාලාභී පාසල් සියල්ල සිසුන් හෝ සිසුවියන් වැඩිපිරිසක් ඉගෙන ගන්නා බාලක හා බාලිකා ඉසව් සඳහා කෙළින්ම ඉදිරිපත් විය හැකි පාසල් බව වාර්තාවේ.

ඒ හේතුවෙන් ඔවුන්ට බාලක හා බාලිකා ඉසව් සඳහා පෙනීසිටීමේ පහසුකම් සැලසී තිබියදිත් මෙසේ මිශ්‍ර කාණ්ඩයට ඉදිරිපත් වීමේ ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ යුක්ති සහගත නොවන ආකාරයෙන් වාසි සලසා ගැනීමට බව චෝදනා එල්ලවී තිබේ.

එය තරඟ සංවිධායකයන්ගේත් මුල් අරමුණට පටහැනි බවත් විශේෂයෙන්ම සිදුවී ඇතැයි කියන එවැනි විෂමාචාර ක්‍රියාවන් හේතුවෙන් මිශ්‍ර කාණ්ඩයට ඉදිරිපත් වී සිටින සිසු සිසුවියන් ගණනක් ඇතුළත් දුෂ්කර පාසල් ගණනාවකට එහි අවස්ථාව ගිලිහී යාමට ඉඩ තිබුණු බවද වාර්තා වේ.

ඒ අනුව තරඟ නීති ක්‍රියාවට නැංවූ ප්‍රාථමික අධ්‍යාපන අධ්‍යක්ෂවරයා සැලසුම් අංශයට මාරු කිරීමට ගෙන තිබෙන තීරණය වැරදි පූර්වාදර්ශයක් බවත් ඒ පිළිබඳව තතු දන්නෝ පවසති.

නේස්ලේ ලංකා සමාගමේ අනුග්‍රහයෙන් දිවයිනේ පාසල් සිසු සිසුවියන් අතර හුදු තරඟ මාලාවක් ලෙස නොව ඔවුන්ගේ මලල ක්‍රීඩා ක්‍රියාකාරකම් ප්‍රවර්ධන කිරිම සඳහා 3-4-5 යන ශ්‍රේණිවල සිසු සිසුවියන් 7776 දෙනකුගේ සහභාගීත්වයෙන් නාවලපිටියේදී එහි අවසන් වටය පැවැත්විණි.

එහිදී බාලක, බාලිකා හා මිශ්‍ර පාසල් කණ්ඩයන්හී තරඟ වැදුණු පාසල් සඳහා රන්, රිදී හා ලෝකඩ පදක්කම් ප්‍රදානය කෙරුණු අතර වැඩිම ලකුණුලාභී පාසල් සඳහා කුසලානයක් බැගින්ද ප්‍රදානය කෙරුණි.

කෙසේ වුවත් තරඟකාරිත්වයෙන් බැහැරව ළාබාල සිසු සිසුවියන් සහභාගිවන මෙම ළමා මලල ක්‍රීඩා ක්‍රියාකාරකම් සැණකෙළිය පවත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය උපදෙස් ලබාදී තිබියදී එය මේ වනවිට ඉන් බැහැරව තරඟාවලියක ස්වරූපයක් ගෙන ඇතැයි පැවසේ.

නගරබද බොහෝ පාසල් මෙම සැණකෙළියට සහභාගි වීමේදී පෞද්ගලික පුහුණුකරුවන්ගේ සේවය ලබා ගැනීමටද පෙළඹී සිටින අතර තරඟකාරිත්වයෙන් මිදෙන නව නිර්නායකයන් හඳුන්වා දෙමින් ඉදිරි වසරවලදී මෙම සැණකෙළිය පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ  බලධාරින් මේ වනවිට සැලසුම් සකස් කරමින් සිටින බවද වැඩිදුරටත් වාර්තාවේ.

මෙම සිදුවීමෙන් පසු ක්‍රීඩා උළෙලෙන් ඉවත් කළ පාසල් අභියාචනා ඉදිරිපත් කර තිබේ. අදාල අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට එරෙහිවත් ඒ සම්බන්ධයෙන් පළාත් අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි බාරදී තිබූ බව ද දැනගන්නට ඇත.

- නාමල් පතිරගේ -