මහජනතාවට  සිය ජාතික හැඳුනුම්පත භාවිත කර වෙනත් පුද්ගලයන්ට සිම් කාඩ්පත් ලබාදීමට හෝ තමන් විසින් ලබාගත් සිම් කාඩ්පත් මගින් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය සකස් කරගත් පසු එහි මුරපද කිසිවෙකුටත් ලබා නොදෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.


මෙවැනි ක්‍රියා සිදුකළහොත් අපරාධකරුවන්ට එම සිම්පත් අවභාවිත කිරීමේ හැකියාව පවතින බවත්, මෙවැනි ක්‍රියා කළහොත් අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමේදී අදාළ සිම්පත ලියාපදිංචි කර ඇති පුද්ගලයාවද අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවන බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මීට අමතරව මෙවැනි ක්‍රියා පිළිබඳ දෙමවුපියන් අවධානයෙන් සිටිය යුතු බවත්, දරුවන්ගේ ක්‍රියාවන් පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කර, දරුවන් රැකබලා ගතයුතු බවත් එම මූලස්ථානය සඳහන් කරයි.

අන්තර්ජාලය හරහා සිදුකරන ලද ළමා අපචාරයන් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, 21 හැවිරිදි මෙම පුද්ගලයා වසර තුනක සිට අන්තර්ජාලය හරහා කොළඹ හා අවට ජනප්‍රිය පාසල්වල පිරිමි ළමයින් රැවටීමට ලක්කර තිබෙන බවත් පොලිස් මූලස්ථානය පෙන්වා දෙයි.

සැකකරු පිරිමි ළමයින් බියට හා ත්‍රාසයට පත්කර ඔවුන්ගේ නිරුවත් ඡායාරූප හා වීඩියෝ ලබාගෙන දේශීය හා විදේශීය අසභ්‍ය වෙබ්අඩවි වෙත ලබාදෙන බව පරීක්‍ෂණවලදී තහවුරු වී තිබේ.

ෆේස්බුක්, ස්නැප්චැට්, වට්ස්අප්, ඉන්ස්ටර්ග්‍රෑම් හරහා මෙවැනි කටයුතු සිදුවිය හැකි බවද පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

- ඉන්දික හේවාවිතාරණ-