නව කොරෝනා වෛරස නිව්මෝනියාව ආසාදිතයින් හදුනාගැනීම හේතුවෙන් ජපානයේ යොකොහාමා වරායේ නැංගුරම්ලා ඇති “ඩයමන් ප්‍රින්සස්” නෞකාවේ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද වන බව වාර්තා වෙයි.



කෙසේවෙතත් ඔවුන් දෙදෙනාට වෛරසය ආසාදනය වී නොමැති බව විදෙස් වාර්තා පෙන්වාදෙයි.

පසුගිය 4 වනදා සිට යොකොහාමා වරායේ නැංගුරම්ලා ඇති රටවල් 56 ක මගීන් 3700 කට අධික පිරිසක් රැගත් මෙම සුඛෝපභෝගී නෞකාවෙන් කොරෝනා ආසාදිත පුද්ගලයෙකු හදුනාගැනීමත් සමඟ එහි සිටි සෙසු මගීන් පරීක්ෂාවට ලක් කිරීමට ජපාන බලධාරීන් තීරණය කළේය.

ඒ අනුව මේ දක්වා පරීක්ෂා කළ පුද්ගලයින් අතරින් කොරෝනා ආසාදිතයින් 135 දෙනෙකු හදුනාගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඊයේ දිනයේ පමණක් ආසාදිතයින් 65 දෙනෙකු හදුනාගෙන ඇති අතර ඔවුන් මේ වන විට රෝහල්ගත කර ඇති බව ජපාන බලධාරීන් සඳහන් කර තිබේ.

සෙසු මගීන් තවදුරටත් එම නෞකාවේ රැඳී සිටින බව සඳහන්ය.

නව කොරෝනා වෛරස නිව්මෝනියාව හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වන විට දහස ඉක්මවා තිබේ.

ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රතිශතයේ අඩුවක් දක්නට ලැබුණ ද දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව ඉහල යමින් පවතින බවයි විදෙස් වාර්තා පෙන්වාදෙයි.

පළමු වරට එක්දිනක් තුළ සියය ඉක්මවූ මරණ සංඛ්‍යාවක් ඊයේ දිනයේ වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ මරණ 108 ක් සිදුව ඇති අතර ඉන් මරණ 103 ක්ම වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ හුබෙයි පළාතෙන් වාර්තා වී ඇති බව සඳහන්ව.

ඒ අනුව මේ වන විට කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 1016ක් දක්වා ඉහල ගොස් තිබේ.

ආසාදිතයින් සංඛ්‍යාව 43,000 ඉක්මවා ඇති අතර ඉන් 42,638ක්ම චීනයෙන් හදුනාගෙන ඇති බව සඳහන්ය.

ඊයේ දිනය තුළ පමණක් එරටින් හදුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 2478 ක් වන බවයි චීන සෞඛ්‍ය අංශ පෙන්වාදෙයි.

කෙසේවෙතත් එම සංඛ්‍යාව ඊට පෙර දින වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාවට සාපේක්ෂව සියයට 20 ක අඩු වීමක් බව ඔවුන් සදහන් කර තිබේ.

මේ අතර චීන ජනාධිපති ෂි ජින් පින්ග් කොරොනා වෛරස ආසාදිතයින්ට ප්‍රතිකාර කටයුතු සිදුකරන බීජිං නුවර සෞඛ්‍ය කාර්ය මණ්ඩල හමුවී තිබේ.

මුව ආවරණයක් පැළඳ සිටි චීන ජනාධිපතිවරයා එම රෝහල්වල නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර වෛරස ව්‍යාප්තිය මැඩපැවැත්වීමේ කටයුතුවලට සහය නොදැක්වූ සහ රාජකාරිය පැහැර හැරි සෞඛ්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානීන් ඇතුළු සිය ගණනක පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට චීන බලධාරීන් පියවර ගෙන ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.