කොට්ටාව සිරිමල්වත්ත ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක ලෙස සේවය කරමින් සිටි කාන්තාවක් එම නිවසේ තිබූ ලක්‍ෂයකට අධික  රන්බඩු සොරකම්කර පලාගොස් සිටියදී එම කාන්තාව රන්බඩුත් සමග පෙරේදා (12) අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය කියයි.  එම නිවසේ හිමිකරු විසින් පොලිසියට කළ පැමිණිල්ලක්
අනුව කොට්ටාව පොලිසියේ  අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්‍ෂක සංජය සෝමරස්ත මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගනු ලැබුවාය.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත් නියනගොල්ල, ගලඋඩ වතුයාය දොළොස්බාග ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 38ක කාන්තාවකි. සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව පොලීසිය සිදුකළ  ප්‍රශ්න කිරීම්වලදී ඇය මීට
මාස තුනකට පෙර මෙම නිවසට මෙහෙකාරියක ලෙස සේවයට පැමිණ ඇති බවට අනාවරණයවී ඇත.

මෙම සැකකාර කාන්තාව එම නිවසේ සේවය කරමින් සිටියදී නිවසේ හිමිකරුට නොදන්වා හිටිහැටියේම රැකියාවට පැමිණ නොමැති බවත් ඒ අනුව නිවැසියන් නිවස පරික්ෂා කිරීමේදී නිවසේ අල්මාරියේ තිබු රන් බඩු
නොතිබීම නිසා නිවසේ හිමිකරු විසින් පොලීසියට පැමිණිලි කර ඇත.ඒ අනුව පොලිසිය සිදු කළ පරික්‍ෂණවලින් අනතුරුව සැකකාර කාන්තාව කොට්ටාව ප්‍රදේශයේ කුලී නිවසක සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇය පරික්‍ෂා කිරිමේදී එම රන්භාණ්ඩ ඇය සන්තකයේ තිබි පොලිසිය
විසින් සොයාගෙන ඇත. එසේ සොරකම්කළ රන් භාණ්ඩ අතර මුද්දක් සහ චේන් එකක් තිබූ බවත් එහි වටිනාකම රුපියල් ලක්‍ෂයකට අධික බවත් පොලීසිය පවසයි.

-ප්‍රියන්ත ජයලත්-