ශ්‍රි ලංකාවේ දැනට පවතින නීතිය අනුව ගණිකා වෘත්තියේ යෙදීමත් යම් ස්ත්‍රියක් ගණිකා වෘත්තියේ යෙදෙමින් තමා විසින්ම යම් ආදායමක් උපයා ගැනීමත් වරදක් නොවන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග
දිසානායක මහතා නඩු තීන්දුවකින් ප්‍රකාශ කර ඇත. 2015 වර්ෂයේ දිනයකදී කොල්ලුපිටිය ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගියේ යැයි පොලිසියෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ තිදෙනකුට එරෙහි නඩු විභාග කොට සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ සඳහන් කර තිබිණි.


ගණිකා නිවාසයක රැඳී සිටිමින් ගණිකා  වෘත්තියෙන් ලැබෙන ඉපැයීම් වලින් සම්පූර්ණයෙන් හෝ කොටසක් වශයෙන් නම් ජීවිකාව පවත්වාගෙන යාම පිණිස රැදී සිටීමෙන් 1841 අංක 04, 1947 අංක 20, 1978 අංක 02 දරන පනත්වලින් සංශෝධිත පාදන ආඥා පනතේ 09 (අ) වන වගන්තිය උල්ලංඝනය කිරීමෙන් දඩුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි කොල්ලුපිටිය පොලීසිය මෙම සිද්ධියට අදාළව තායිලන්ත කාන්තාවන් හය දෙනකු සහ මෙරට සැකකරුවන් තිදෙනකු සම්බන්ධයෙන්  අධිකරණයට වාර්තා කර තිබිණි. මෙහිදි තායිලන්ත කාන්තාවන් හය  දෙනා එම චෝදනාවට වරද පිළිගෙන තිබූ අතර අනෙක් සැකකරුවන් තිදෙනා එම චෝදනාවට තමන් නිවැරදිකරුවන් කියා සිටීම නිසා නඩු විභාගයක් පැවැත්විණි.

මෙම නඩුවේ තුන්වැනි සැකකාරිය ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධයෙන් වරද කියාදී කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම නඩු විභාගය ඉකුත් 2016 ඔක්තෝම්බර් මස 06 වැනිදා ආරම්භ වූ අතර චුදිත කාන්තාව වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ සංජීව ගමගේ මහතා ලිඛිත දේශන ඉදිරිපත් කරමින් ඉල්ලා සිටීමය ශ්‍රී ලංකාවේ පවතින නීතියට අනුව මෙම චූදිත සම්බන්ධ නඩුව ඉදිරියට පවත්වාගෙන යා නොහැකි බැවින් ඇය නිදොස් කොට නිදහස් කරන ලෙසය.

මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් නඩුවේ තුන්වැනි චූදිත කාන්තාව නිදොස් කොට නිදහස් කළ අධිකරණය ගණිකා වෘත්තිය ශ්‍රී ලංකාව තුළ වරදක් නොවන බවට 1923 ජුලි මස 27 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද SAIB0 V. CHELLAM නඩු තීන්දුවේ ප්‍රකාශ කර ඇති බවත්, එම නඩු තීන්දුවෙන් පසුව යම් පනත් මගින් හෝ ගණිකා වෘත්තියේ යෙදීම වරදක්  ලෙස දක්වා නොමැති බවත් තීන්දුවේ සදහන් කර ඇත.
එසේ, අයාල ආඥා පනත 1841 වර්ෂයේදී හදුන්වා දී ඇති අතර, එය අවසාන වශයෙන් සංශෝධනය වී ඇත්මත්තේ 1947දී බවද එම සංශෝධනයේ ද ගණිකා වෘත්තියේ යෙදීම වරදක් ලෙස කිසිදු ස්ථානයක හඳුන්වා දී නැති බවද තීන්දුවේ දැක්වේ.


-නිමන්ති රණසිංහ-