තලගොයි දහතුන් දෙනකු අල්ලා හිංසාකාරී ලෙස පොහොර උර දෙකක දමා මසට අලෙවි කිරීමට ගෙන යමින් සිටි දෙදෙනකු අම්පාර දාරම්තලාව ප්‍රදේශයේදී ඉකුත් 8 වැනිදා සවස 3.30ට පමණ අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියති.



බක්මිටියාව තිඹිරිගොල්ල ආදී වනගත රක්ෂිත ප්‍රදේශවල නිතර නිතර වනසතුන් දඩයම්කර දඩමස් අලෙවි කරන බවට පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරු මත අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බළකාය කඳවුරේ සහ ශාස්ත්‍රවෙල විශේෂ කාර්ය බළකා කඳවුරේ නිලධාරීහු කණ්ඩායමක් ඒකාබද්ධව මේ දිනවල වැටලීම් සිදු කරති.

ඒ අනුව ඉකුත් 8 වැනිදා සවස පොලිස් විශේෂ කාර්ය බළකායේ උපපොලිස් පරීක්ෂක වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් දාරම්තලාව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙසේ තලගොයින් පොහොර උරවල දමාගෙන සිටි දෙදෙනා අත්අඩංගුවට පත්ව ඇත.

මෙම සතුන් පණපිටින් අලෙවි කරන විට හොඳ ඉල්ලුමක් පවතින බවත් එක් සතෙකු රුපියල් පන්සීයක් හෝ එයට වැඩි මිලකට හෝ අලෙවි වන බවත් කියති. පොහොර උරවල සිටි සෑම සතෙකුම උඩු අතට නවා පිටුපස කකුල් කරකවමින් එහි නියපොතු හිස ප්‍රදේශයට කොක්කක් ලෙස ගසා ගලවා ගැනීමට
නොහැකි වන පරිදි දැඩි ලෙස සත්ත්ව හිංසාවක් කර තිබුණි.

මේ නිසා මෙම සතුන් ආරක්ෂා කර ගැනීම සඳහා කඩිනමින් සාගම වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන් වෙත බාරදීමට පියවර ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නියෝජ්‍ය පොලිස්පති එම්.ඩබලිව්.ජී. ලයනල් ගුණතිලක මහතාගේ අධීක්ෂණය මත කලාප අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්.එම්.කේ.එස්. පඬිවිට මහතාගේ සහ වැඩබලන ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහකාර පොලිස් අධිකාරී කුලතුංග යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් අරුගම්බේ පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ අණදෙන නිලධාරි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබලිව්.සී.ඒ.එස්. ද සිල්වා මහතා ඇතුළු නිලධාරීහු වැටලීම සිදු කළහ.

- හිඟුරානේ නවරත්න සමරතුංග-