ශ්‍රී ලංකාවේ වැඩිවන බලශක්ති ඉල්ලුම සැලකිල්ලට ගනිමින් රුසියාවට යම් දිනෙක ශ්‍රී ලංකාවේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරී මැටේරී පවසයි. ස්පුට්නික් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව කියයි.



ශ්‍රී ලංකා රජය පරිසර දූෂණයෙන්
තොර බලශක්තියට කැමැත්තක් දක්වන බවත්, ගල්අඟුරු සහ ඉන්ධන භාවිතයෙන් කරන විදුලි නිපදවීම ක්‍රමයෙන් ගෑස් හා විකල්ප බලශක්ති ප්‍රභවයන් මගින් ප්‍රතිස්ථාපනය කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කරමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව දිගුකාලීන දෘෂ්ටිකෝණයකින් න්‍යෂ්ටික බලශක්තිය භාවිත කළ හැකි බවත් ඒ සඳහා දැනටමත් උත්සාහයන් දරා ඇති බවත් තානාපතිවරයා සඳහන් කරයි. ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සැලකිල්ලට ගැනීමේදී බලශක්ති පරිභෝජනය සැලකිය යුතු ලෙස වැඩිවෙමින් පවතින බවත්, මේ අනුව න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීම පිළිබඳ අදහස සාකච්ඡා කළ හැකි බවත් හෙතෙම කියා සිටියේය.

රුසියාවේ න්‍යෂ්ටික සංස්ථාව වන රොසැටම් ආයතනය හා ශ්‍රී ලාංකාවේ ඒ හා සම්බන්ධිත ආයතන න්‍යෂ්ටික බලශක්තිය සාමකාමීව භාවිත කිරීම පිළිබඳ අත්තර් රාජ්‍ය මට්ටමින් එකඟතාවකට පැමිණ ඇති බවද තානාපතිවරයා සඳහන් කළේය.