පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සහ ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අතර සිදු වී ඇති දුරකථන සංවාද 12ක හා වීඩියෝ පටවල පිටපතක් නොපමාව ඉදිරිපත් කරන ලෙස නීතිපති වැඩබලන පොලිස්පතිවරයාට (12දා) දැනුම් දුන්නේය.

රන්ජන් රාමනායක මහතා සහ ගිහාන් පිලපිටිය මහතා අතර දුරකථන සංවාද 12ක් සිදු වී ඇතැයි දුරකථන
විස්තර වාර්තා අනුව හෙළි වන බව වැඩබලන පොලිස්පතිවරයාගේ අවධානයට ලක් කරන නීතිපතිවරයා, ඉදිරි නෛතික පියවර සඳහා ඔවුන් අතර සිදු වී ඇති දුරකථන සංවාද හා වීඩියෝ පටවල පිටපතක් ලබාදීමට පියවර ගන්නා ලෙසද දැනුම් දී ඇතැයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතාගේ අත්සනින් වැඩබලන පොලිස්පතිවරයා වෙත නිකුත් කොට ඇති මෙම ලිපියේ පිටපත් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂවරයාට හා රජයේ රස
පරික්‍ෂවරයාටද යොමු කොටඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඇඹිලිපිටිය හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සමග එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අපේක්‍ෂාවෙන් ඉදිරිපත් කොට ඇති උධෘතයන් පරිශීලනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත මෙම ලිපිය නිකුත් කොට ඇත.

2015 ජනවාරි මස පළමු වැනිදාත්, 2019 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේදී විනිසුරු ගිහාන් පිලපිටිය මහතා රන්ජන් රාමනායක මහතා සමග දුරකථන සංවාද 12ක් සිදුකර ඇති බව දුරකථන විස්තර වාර්තා අනුව අනාවරණය වන බව නීතිපතිවරයා සිය ලිපියේ සඳහන් කොට ඇත.

විශ්ලේෂණ සඳහා ඉදිරිපත් කොට ඇති දෘඪාංග මගින් අදාළ දුරකථන සංවාද හා වීඩියෝ පටවල පිටපත් ලබාගෙන, ඒවා නීතිමය පියවර
සඳහා නොපමාව තමාට ලබාදීමට පියවර ගන්නා ලෙසද නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කළ ලිපිය මඟින් වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 26 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහේස්ත්‍රාත් හර්ෂ පැලේපොල මහතා ඊයේ (12දා) නියම කළේය.

සැකකරු අධිකරණයට රැගෙන එන අවස්ථාවේදී මාධ්‍ය වෙත යම් යම් නිවේදන නිකුත් කිරීම තුළින් සාක්ෂිකරුවන්ට සහ වින්දිතයන්ට බලපෑමක් ඇතිවේ යැයි සඳහන් කරමින් සැකකරුට ඇප ලබා නොදෙන ලෙසට නීතිපතිවරයා කළ ඉල්ලීම මත සැකකරු ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.


-බුද්ධිමාල් රුබේරු-