අහුන්ගල්ල, වැලිවතුගොඩ ප්‍රදේශයේදී ඊයේ (17) පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතළ තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ වැලිවතුගොඩ බළපිටිය ලිපිනයේ පදිංචි එදිරිමුණි සුනිල් කුමාර ද සොයිසා (34) නොහොත් බණ්ඩා
නැමැත්තාය. ඔහුගේ තත්ත්වය බරපතළ වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට මාරුකර යවා තිබේ. තුවාලකරු කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් තත්ත්වය තරමක් බරපතළ බවත රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. තුවාලකරුගේ හිසේ සහ පපුවේ වෙඩි පහර දෙකක් තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

ඊයේ (17දා) පෙ.ව. 6.50ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබෙන බව අහුන්ගල්ල පොලීසිය කියයි. සම්පූර්ණයෙන් මුහුණ ආවරණය කරන ලද හිස් ආවරණ පැලඳ දෙදෙනකු ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලිස් පරීක්ෂණවලදී තහවුරු වී තිබේ. මාංචු ජෝඩුවක් රැගෙන ඝාතකයන් දෙදෙනා පැමිණ තුවාලකරුගෙන් ඔයා කුඩු බිස්නස් කරනවා නේද? යනුවෙන් අසා මීටර් 20ක් පමණ ඈතින් වූ පාරට එක්කරගෙන ගොස් මෙරට නිෂ්පාදනය කරන ලද ගල්කටස් වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇති බව අහුන්ගල්ල පොලිසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ තිබී පතරොම් කොපුවක් සොයාගෙන තිබේ. එය කුමන වර්ගයේ එකක්ද යන්න මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවත් අහුන්ගල්ල පොලිසියට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. මෙය මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ දෙපාර්ශවයක් අතර ඇති දිගුකාලීන කෝන්තරයක් හේතුවෙන් සිදු වූවක් බවට යම් තොරතුරක් ලැබී තිබෙන බවත් ඒ ඔස්සේ වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් ඇතැම් විට ඔයා කුඩු බිස්නස් කරනවා ද යනුවෙන් ඇසූයේ තොරතුරු අනාවරණය වීම වැළැක්වීමට විය හැකි බවත්අ හුන්ගල්ල පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

තුවාලකරු දෝහාකටාර්
රාජ්‍යයේ රැකියාවක් කර මෙරටට පැමිණ ඇත්තේ මීට මාස එකහමාරකට පමණ පෙර බවත් ඔහු එක්දරු පියකු බවත් සිද්ධිය සම්බන්ධයෙන් අහුන්ගල්ල පොලිසිය පොලිස් කණ්ඩායම් කිහිපයක්ම යොදා පරීක්ෂණ පවත්වන බවත් අහුන්ගල්ල පොලිසිය කියයි. අහුන්ගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. ජයතිලක මහතාගේ මෙහෙයවීම මත පොලිස් සැරයන් සුනිල් රන්ජන් (57880), ඇල්පිටිය විශේෂ අපරාධ ස්ථාන විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක චන්දිමල් ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

- දම්සරී ලියනගේ -