ශ්‍රී ලංකාවේ පළමුවරට ඖෂධීය ආරක්ෂිත මුඛවැස්මක් නිර්මාණය කිරීමට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ දෙවන වසරේ ඉගෙනුම ලබන ඒ.ඒ. ධම්මික ප්‍රභාත් සිසුවා සමත්ව තිබේ. ගම්පහ, වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි ධම්මික ප්‍රභාත් ගම්පහ තක්ෂිලා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයකු ද වන අතර පොල්හේන විෂවේද
රෝහල් කැඩුම් බිඳුම් හා විෂ වෛද්‍ය විද්‍යාව පිළිබඳ පළමු වසර අභ්‍යන්තර සිසුවකු ලෙස ද අධ්‍යාපනය ලබමින් සිටී. ධමිමික ප්‍රභාත් සිසුවා මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය පිළිබඳව  මෙසේ අදහස් දැක්වීය.
මෙම නිපැයුම බොහෝ කලකට පෙර මම සැලසුම් කළ නිර්මාණයක්.  මේ දිනවල චීනය මුල් කරගෙන ඉතා ඉක්මනින් ලෝකය පුරා පැතිරෙන කොරෝනා වයිරසය හා ඒ නිසා ලාංකික ජනතාව ද පීඩාවට පත්ව සිටින ආකාරය  පසුගිය දින කිහිපය තුළ මම හොඳින්ම දැක්කා. මිනිසුන්ට අවශ්‍ය ප්‍රමාණයෙන් මුබ ආවරණ අපේ රටේ වෙළෙඳපොළ තුළ හරියාකාරව තිබුණේ නැහැ. පවතින මිලට වඩා අධික  මිලකට ඒවා අලෙවි කළා. මේ දේවලුත් එක්ක මා නිර්මාණය කළ මුහුණු ආවරණය ඖෂධීය ආරක්ෂිත මුහුණු ආවරණයක් ලෙස වැඩිදියුණු කළා.

මේ මුඛ ආවරණය ශ්‍රී  ලංකාවේ පළමු ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය නිර්මාණය කිරීම සඳහා යොදා  ගෙන ඇති සියලු අමුද්‍රව්‍ය දේශීය අමුද්‍රව්‍ය වන අතර ඒ සෑම අමුද්‍රව්‍යක්ම දිරායන  දේවල් වීම ද විශේෂත්වයක්. රාවණ යුගයේ සිටම පැවැතගෙන ආවා යැයි විශ්වාස කරන හෙළ වෛද්‍ය විද්‍යාව නම් දියුණු වෛද්‍ය ක්‍රමයක් අප සතුව තිබුණත් අද එය භාවිතයට ගන්නේ බොහෝම අඩු පිරිසක්. මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය නිර්මාණය කිරීමට ප්‍රථමයෙන් හෙළ වෛද්‍ය විද්‍යාවේ එන විෂ හරණ විද්‍යාව අපි අධ්‍යයනය කළා. අපේ රටේ ඖෂධීය බෙහෙත් ද්‍රව්‍යවලින් අපි මුඛ වැස්ම නිර්මාණය කළා.‍

එසේම මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය ප්‍රධාන වශයෙන් ස්ථර තුනක් යටතේ නිපදවා තිබෙන අතර විශේෂ ශාකසාර ඖෂධ යෙදු ස්ථර දෙකක් ද, දූවිලි පෙරහණ ස්ථරයක් ද මේ සඳහා මා එකතු කළා.වෙළෙඳපොළ තුළ ඇති සාමාන්‍ය සායනික මුඛ ආවරණයක් උපරිමයෙන් භාවිත කළ හැක්කේ පැය 8ක පමණ කාලයක්. නමුත් මා නිර්මාණය කළ ආයුර්වේදීය ආරක්ෂිත මුඛ ආවරණය පැය 72ක පමණ කාලයක් හොඳින් භාවිත කරන්න හැකියාව තිබෙනවා. පැය 72කින් පසුව ද මුබ  ආවරණය සෝදා පවිත්‍ර කර  ඖශධීය ස්ථර දෙක පමණක්  නැවත එක්කර සාර්ථක ලෙස භාවිතයට ගන්න පුළුවන්. මෙම ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණය භාවිත කිරීම  මගින් ශරිරයට කිසිදු අසාත්මිකතාවක් ඇතිවන්නේ නැහැ. මෙය සියයට සියයක් දේශීය අමු ද්‍රව්‍යවලින් නිපදවූ ඖෂධීය ආරක්ෂිත මුඛ ආවරණයක්.

ඉතාම අඩු සාධාරණ මිලකට මෙම නිපැයුම්  වෙළෙඳපොළ වෙත  නිකුත්කිරීමේ හැකියාව අපිට තියෙනවා. ඒ වගේම මේ තුළින් නව රැකියා අවස්ථා ඇතිකිරීමට ද අපිට පුළුවන්. අදාළ බලධාරින් මේ පිළිබඳව සොයා බලා කටයුතු කරනවා නම් විදේශවලින් මේ වැනි නිෂ්පාදන ගෙන්වීමට අවශ්‍ය වන්නේ නැහැ. බටහිර වෛද්‍ය ක්‍රමය හෝ ඉන්දියාවෙන් පැමිණි ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට වඩා අපේ රටේ පැවැති අභාවයට යමින් තිබෙන හෙළ වෛද්‍ය විද්‍යාව අපි රැක ගතයුතු වගේම මෙය තව තවත් විනාශ වන්නට නොදී රැකගැනීම අප සියලු දෙනාගේ වගකීමක් ලෙස මා දකිනවා.

මෙය නිර්මාණය කිරිම සඳහා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ ඉගෙනුම ලබන ශ්‍රී ගිම්හාන මධුරපේරුම, රවින්ද්‍ර වන්නිආරච්චි සහ කවීෂ රණසිංහ මගේ මිතුරන් තිදෙනා මේ සඳහා මට බොහෝ උපකාර කළා. ඒ වගේම විශ්වවිද්‍යාලයේ විද්‍යා අංශයේ සහය පොහෝත විෂවේද රෝහලේ කැඩුම් බිඳුම් හා විෂ වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම් කටයුතු කරන ආචාර්යවරුන්ට ද මම විශේෂ ස්තූතියක් පුදකරනවා." යැයි ද ධම්මික ප්‍රභාත් සිසුවා පැවැසීය.


-මනෝජ් හර්ෂික-