පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ගොඩනැගූ නව සන්ධානය. හරහා විවිධ මතදරමින් සිටි
පිරිස් එක් කිරීමේ ගෞරවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට හිමිවිය යුතු බව රාජ්‍ය අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

අද(18) පෙරවරුවේ බත්තරමුල්ල නෙළුම් මාවතතේ පිහිටි පොදුජන පෙරමුණු ප්‍රධාන. කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, පොදුජන පෙරමුණේ සිටින බහුතරයක් ශ්‍රීලනිපයේ දේශපාලන අත්පොත් තැබු අය බවයි.

ඒ නිසාවෙන් ප්‍රධාන ධාරාවන් දෙකක් මෙලෙස ප්‍රගතිශීලි කඳවුරු දෙකක් ලෙස එකතු වීම සුබදායි දෙයක් බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය පසුපස තිබු දේශපාලන ගතික භාවය වැඩි කිරීමට සන්ධානය ඉවහල් වු බවත් පැවසු අමාත්‍යවරයා, විවිධ මතවාදයන්ට ලක්වු සියලු දෙනා අද දවසේ එක් තැනකට එකතු කිරීමේ ගෞරවය මහින්ද රාජපක්ෂ මහතාට ලබා දෙන බවත් කියා සිටියේය.

චන්ද්‍රිකා බණ්ඩාර නායක මහත්මිය නැවත එකතු වීම සම්බන්ධයෙන් කිසිවක් තමා නොදන්නා බවත් පැවසු අමාත්‍යවරයා, ඇය පසුගිය කාලයේ ක්‍රියා කළ ආකාරය ගැන කිසිදු පැහැදීමක් නොමැති බවත් සඳහන් කළේය.

පසුගිය කාලයේ වැරදි අමතක කර මෛත්‍රිපාල සිරිසේන මහතා එකතු වුයේ කෙසේ දැයි මාධ්‍යවේදීන් විසින් අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, පොදුජන පෙරමුණ එකතු වුයේ මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ නොව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ බවයි.

මෙය පක්ෂ එකමුතුවක් බවත් එය පුද්ගලයෙකුට සීමා කළ නොහැකි බවත් අනුර ප්‍රියදර්ශන මහතා මෙහිදී පැවසීය.