එල්.ටී.ටී.ඊ. සංවිධානයන් වළදමා ඇතැයි කියන  රත්රන් සොයා ස්කැනර් යන්ත්‍රයක් යොදාගෙන
කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේ කැණීම් සිදුකළ යුද හමුදාවේ කර්නල්වරයකු සහ සෙබළුන් දෙදෙනෙකු ඇතුළු  21 දෙනකු ඊයේ (09) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය විශේෂ කාර්ය බළකාය
කියයි. අත්අඩංගුවට ගත් යුද හමුදා කර්නල්වරයා සහ සෙබළුන් දෙදෙනා රත්රන් සෙවූ පිරිසට ආරක්ෂාව ලබාදෙමින් කැණීම් සිදුකිරිමටද හවුල්වී ඇති බව එම බළකාය පවසයි.

සැකකාර කර්නල්වරයා හා යුද හමුදා සෙබළුන් දෙදෙනා හමුදා නිල ඇඳුමින් සැරසී සිට ඇති අතර  ඔවුන් විජයබා පාබල
රෙජිමේන්තුවේ සාමාජිකයන් බවත් කලින් කිලිනොච්චිය ප්‍රදේශයේ රාජකාරිකොට පසුව මෙම ප්‍රදේශයට මාරුවීම් ලැබූවත් බවත් පැවසේ. එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් සඟවා ඇතැයි කියන රත්රන් සොයා ගැනීම් සිදු කරන පිරිසක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකායට ලැබුණ තොරතුරක් මත එම බළකායේ නිලධාරීන් යුද හමුදාව හා එක්ව සිදුකළ වැටලීමකදී කර්නල්වරයා ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

එහිදී සැකකාර කර්නල්වරයා පැමිණි යුහ අංකයක් දරන නිලරථයද සුඛෝපභෝගී ජීප් රථයක්, කැබ්රථයක් හා වෑන් රථයක්ද පොලිස් විශේෂ කාර්ය බළකාය බාරයට ගෙන ඇත.  විදේශ රටකින් ගෙන්වන ලද අධිබලැති ස්කෑනර් යන්ත්‍රයක් යොදාගෙන සැකකරුවන් රත්රන් සොයා ගැණීම් සිදුකරද්දී කර්න්වරයා ඔවුන්ට ආරක්ෂාව සපයා ඇත. අදාල ස්ථානයේ තිබි සැකකරුවන් රැගෙනවිත් තිබූ පූජාවන් සඳහා ගන්නා භාණ්ඩ කිහිපයක්ද විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර යුද හමුදාවෙන් විශ්‍රාම ගිය දෙදෙනකු ද සිටි බව පොලිසිය පවසයි. සැකකරුවන් අතුරින් 13 දෙනකු අනුරාධපුර වෙනත් ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර තිදෙනෙක් කිලිනොච්චිය සහ පරන්තන් ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.

සැකකරුවන් පිරිස වැඩිදුර විමර්ශන සඳහා කිලිනොච්චිය ධර්මපුරම් පොලිසියට බාරදී ඇති අතර ඔවුන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි. ධර්මපුරම් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා කිලිනොච්චිය ආරක්ෂක අංශ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

-සිතුම් චතුරංග-