ඉන්දියානු සාගරයේ, උතුරු ප්‍රදේශයේ ශ්‍රී ලංකාවේ ගිනිකොණ දිග වෙරළට ආසන්නව ඊයේ (12) අලුයම සිදුවූ භුමි කම්පනය මෙරට මුහුදුබඩ ප්‍රදේශ ගණනාවකට ද දැනී තිබිණ.



රික්ටර් මාපක 5.4ක අගයක් ගත් මෙම භූ කම්පනය අලුයම 2.34ට පමණ හටගත් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි.

මුහුදේ කිලෝමීටර 10ක් පමණ ගැඹුරෙහි සිදුවූ මෙම භූ කම්පනය දකුණු පළාතේ මුහුදුබඩ ප්‍රදේශ ගණනාවකට දැනී ඇතත් ශ්‍රී ලංකාවට කිසිඳු සුනාමි අවදානමක් නොමැති බව එම මධ්‍යස්ථානය නිවේදනය කර තිබිණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ තංගල්ල, වලස්මුල්ල, අම්බලන්තොට හා ඒ අවට ප්‍රදේශවලට ද මාතර දිස්ත්‍රික්කයේ බොහෝ ප්‍රදේශවලට සහ මොණරාගල, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ප්‍රදේශ ගණනාවකට ද ශබ්දයක් සමඟ මෙම භූ කම්පනය දැනී තිබිණි.

භූ කම්පනය ඇතිවූයේ අලුයම් කාලයේදී වුවද එම ප්‍රදේශයන්හි බොහෝ දෙනෙකුට පරිසරයේ සිදුවූ මෙම වෙනස දැනී ඇතැයි වාර්ත වෙයි.

විනාඩියක පමණ කාලයක් පොළොව සෙලවෙනු දැනුණු බව ඔවුහු පැවසූහ.

භූ කම්පනය දැනුණු අවස්ථාවේ තමා මුහුණ දුන් අත්දැකීම විස්තර කළ ආනපල්ලම ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දිම කුමාර ද සිල්වා මහතා මෙසේ පැවසීය.

“පාන්දර පොළොව සෙලවෙනවා දැනුණා. එය විනාඩියක් පමණ කාලයක් තිබුණා. අවට ගම්මාන දෙක තුනකටත් මෙය දැනී තිබෙනවා. සමහරු සිතා ඇත්තේ අලි ගම්වැදී ඇති බවයි. භූමි කම්පාවක් සිදුවී ඇති බව දැනගත්තේ පසුවයි.”

හම්බන්තොට කැකිරිඕබඩ ජලාශය ආසන්නයේ පදිංචිව සිටින එච්.ජී. එමලින් මහත්මිය මෙසේ පැවසුවාය.

“මම නිදාගෙන සිටිද්දී අලුයම 03 ට පමණ එකවරම ගේ සෙලවී ගියා. එම සෙලවීම නිසා මා අවදිවුණා. දෙවරක් පමණ එසේ සෙලවුණා. මීට වසර 03කට පමණ පෙරත් මෙසේ සිදුවුණා."

තංගල්ල - බෙලිඅත්ත මාර්ගයේ පදිංචි එස්.කේ.පටබැඳි (67) මහත්මිය මෙසේ පැවසුවාය.

“මහත්තයා අසනීප නිසා මම පාන්දර ඇහැරිලා හිටියේ. අලුයම දෙකහමාරට පමණ සිවිලිමෙන් ශබ්දයක් ඇසුණා. මා සිටියේ ගෙදර ඉහළ මාලයේයි. එක්වරම ඇඳත් සෙලවුණා. ගුවන්යානයක් වගේ ශබ්දයකුත් ඇහුණා. මොකක්ද වුණේ කියල හිතාගන්න බැරිවුණා. ගෙට සොරෙක්වත් ඇතුළුවුණාදැයි සැක සිතුන නිසා මම නැගිටලා ඇඳ යටත් බැලුව"

තංගල්ලේ පදිංචි රමණි වීරසිංහ (62) මහත්මිය මෙසේ කීවාය.

“පුතා විභාගයට පාඩම් කරන නිසා මම රූපවාහිනියේ චිත්‍රපටයක් නරඹමින් සිටියා. එක්වරම රූපචාහිනිය ක්‍රියා විරහිත වුණා. ඒ වෙලාවේ ගෙදර විදුලි සැපයුම සාමාන්‍ය පරිදි තිබුණා. උදේ තමයි දැනගත්තේ භූමිකම්පාවක් සිදුවෙලා තිබෙන බව."

-ඩයනා උදයංගනී-